ආණ්ඩුව බිත්තර දැමීම සඳහා කෙකර ගාමින් ඉන්නවා - Anura Kumara Dissanayaka

"ආණ්ඩුව දින කිහිපයක සිට බස් ගාස්තු, විදුලි ගාස්තු වැඩිකිරීම නැමති බිත්තරය දැමීම සඳහා කෙකර ගාමින් ඉන්නවා. ආණ්ඩුව දාන්න යන බිත්තරය ජනතාව මත හෙළන පීඩන බෝම්බයක්. මෙවැනි තත්වයකට පත්ව තිබෙන්නේ ආණ්ඩුව ගෙනයන සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිවල වැරදිසහගත භාවයයි. ඒ වගේම රටේ මහා ජාතික ධනය 2%ක් වැනි ඉතාමත් කුඩා පිරිසක් අතර සංකේන්ද්‍රණය වීමත් එම ජාතික ධනය ජනතාව අතර බෙදී නොයෑමත් මෙම අර්බුදය තීව‍්‍ර කොට තිබෙනවා. ඒ වගේම හොරකම්, නාස්තිය, දූෂණය, අසාර්ථක ව්‍යාපෘතිවල පාඩුව මේ සඳහා තව තවත් හේතුවී තිබෙනවා." යැයි ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ  (10) පස්වරුවේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුව අමතමිණි.


එහිදී අනුර දිසානායක මහතා දැක්වූ තවත් අදහස් පහත පළ වේ.

"ආණ්ඩුව තව දින එකයි, දෙකයි, තුනයි කියමින් මත්තල ගුවන් තොටුපොල විවෘත කිරීමට දින ගණින අතරේ ජනතාව බලා සිටින්නේ විදුලි, බස් ගාස්තු, කොයි මොහොතේ වැඩි වෙයිද කියලයි. ඉදිරියේ විවෘත කිරීමට යන මත්තල ගුවන්තොටුපොල සඳහා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ගෙනා කැබිනට් පති‍්‍රකාවේ ඇස්තමේන්තුගත මුදල වූයේ ඇමරිකන් ඩොලර් මිලියන 209යි. ඊට අමතර වශයෙන් චීනයේ එක්සීම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 190ක ණයක් ලබාගත්තා. ඉතිරිය දේශීය මුදල්වලින් සම්පූර්ණ කරගැනීමට නියමිතව තිබුණා. මත්තල ගුවන්තොටුපොල පිළිබඳ විවිධ ප‍්‍රචාර කටයුතු කරන ආණ්ඩුවෙන් අහන්න කැමතියි, එම ව්‍යාපෘතිය සඳහා වියදම් කළ ඇත්ත මුදල කීයද කියලා. අතිරේක මුදල වශයෙන් පමණක් ඩොලර් මිලියන 80ක් මේ වෙනකොට වියදම් කොට තිබෙනවා. ලංකා මුදලින් මෙය රුපියල් දශලක්‍ෂ 10400ක් පමණ වෙනවා.

ඒ වගේම මහා මාර්ග අමාත්‍යවරයා ලෙස පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට කැබිනට් පති‍්‍රකා කිහිපයක් ගෙනාවා. මාතර බෙලිඅත්ත රේල් පාරේ කිලෝමීටර් 26.7ක් දිග කොටසක් ඉදිකිරීම සඳහා අපේක්‍ෂිත වියදම සඳහා ලබාගන්නා ණය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 278ක්. එම ව්‍යාපෘතියේ එක කිලෝමීරටයක් සඳහා රුපියල් කෝටි 130ක් වැයකරනවා. කිලෝමීටරයක් සඳහා සිල්පර කොට 1,500ක් සවිකරන අතර සිල්පර කොට දෙකක් අතර වියදම රුපියල් ලක්‍ෂ 86ක් පමණ වෙනවා. මෙය පිළගත හැකි මුදලක්ද? මෙම ව්‍යාපෘතිය සඳහාම දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව එක් කිලෝමීටරයකට ලක්‍ෂ 54යි. ආණ්ඩුව ව්‍යාපෘති සඳහා ණය ලබාගනිමින් විශාල කොල්ලකෑමක් සිදුකරමින් ඉන්නවා.

කිලෝමීරටර් 25.6ක් වූ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට රුපියල් මිලියන 52,380ක් ලබාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් පති‍්‍රකාවක් ගෙනාවා. එහි එක කිලෝමීරයක් සඳහා වියදම රුපියල් මිලියන 2,030ක්. මත්තල ගුවන්තොටුපොල, මාතර බෙලිඅත්ත රේල් පාර, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය වැනි සියලූ ව්‍යාපෘති සඳහා වියදම් කරන්නේ දේශීය ධනය නොවෙයි. සියලුම මුදල් චීනයෙන් ණය ලෙස ලබාගනන්නවා.

පසුගිය පෙබරවාරි මස 26වනදා ජනාධිපතිවරයාම කැබිනට් පති‍්‍රකාවක් ගෙනාවා කිලෝමීටර් 29.4ක් වූ හලාවත වාරියපොල මාර්ගය ඉදිකිරීම සඳහා. මෙය රුපියල් මිලියන 2614ක ඇස්තමේන්තුවක් සහිත ව්‍යාපෘතියක්. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව කේ.ඩී. ඊබට් සන්ස් නැමති සමාගමට කොන්ත‍්‍රාත්තුව ලබාදුන්නා. මේ සඳහා ණය ලබාගත්තේ ලංකා බැංකුවෙන්. එක් කිලෝමීටරයක් සඳහා රුපියල් කෝටි 09ක වියදමක්. කෙළවරපිටිය බලාගාරය සඳහා ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 225ක්. ව්‍යාපෘතිය සඳහා 85%ක් ණය ලෙස ලබාගත් අතර ඉතිරි මුදල් පියවා ගත්තේ ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් සහ ලෙකෝ යන අරමුදල්වලින්. ව්‍යාපෘතිය අවසන්වන විට අමතර වියදම වශයෙන් පමණක් ඩොලර් මිලියන 121ක මුදලක් ලබාගෙන තිබුණා. රුපියල් කෝටි 1,573ක අතිරේක වියදමක් දරා තිබෙනවා. ඒ සඳහා ණය ලබාගත්තේ එච්.එස්.බී.සී. බැංකුවෙන් අවුරුද්දකට රටේ ජනතාව ‍ඖෂධ ලබාගැනීම වෙනුවෙන් වැයකරන්නේ රුපියල් කෝටි 1100ක් පමණයි. නමුත් ව්‍යාපෘතියක අමතර වියදම වශයෙන් රුපියල් කෝටි 1,573ක් වියදම් කරනවා.

ඔපෙක් අරමුදලින් ණය ලබාගෙන ගාල්ල දෙනියාය මාර්ගයේ කිලෝමීටර් 13ක දුර ප‍්‍රමාණයක් සංවර්ධන කටයුතු ව්‍යාපෘතියක් යෝජනා කර තිබෙනවා. ඒ සඳහා වියදම මිලියන 2,051ක් වන අතර කිලෝමීටරයක් සඳහා කෝටි 14.5ක වියදමක් ඇස්තමේන්තුගත කර තිබෙනවා. මාතර අකුරැස්ස මාර්ගයේ කිලෝමීටර් 3.4ක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 639ක් වන අතර කිලෝමීටරයක් සඳහා වැයවන මුදල රුපියල් කෝටි 19ක් පමණ වෙනවා. මෙම පාරවල් හදන සියලුම ව්‍යාපෘති ජනාධිපතිවරයා ගෙනා කැබිනට් යෝජනා. පාරවල් හදන සංසදර්ශන සඳහා ණය ලබාගනිමින් රට ණය උගුලක සිරකර තිබෙනවා.

ආර්ථිකය කඩා වට්ටලා ණය උගුලක හිරකරමින් එම ණයවල බර රටේ ජනතාව මත පටමින් තිබෙනවා. ඒ නිසා තමයි ලෝක වෙළඳපොලේ මිල ඉහළ යෑමකින් තොරව තෙල් මිල වැඩි කරන්නේ. මේවන විටත් තෙල් සංස්ථාවේ ගබඩාවල තිබෙන පෙට‍්‍රල් ලීටරයක් වරායට ගොඩබාන විට මිල වන්නේ රුපියල් 83.22ක් පමණයි. වරාය ගාස්තු, ප‍්‍රවාහන ගාස්තු සහ ලාභයන් සඳහා අතිරේක වියදම රුපියල් 10ක් පමණ වැයවෙන්න පුළුවන්. නමුත් වෙළඳපොලේ පෙට‍්‍රල් ලීටයක මිල රුපියල් 162ක් වෙනවා. ආණ්ඩුව මේ ආකාරයෙන් විශාල ලෙස බදු බරක් ජනතාව මත පටවමින් මුදල් එකතු කරමින් සිටිනවා.

ඒ වගේම බස් ගාස්තු වැඩිවීමක් පිළිබඳ කතාබහක් මතුවී තිබෙනවා. බස් සමාගම් ආණ්ඩුවට කියා සිටියේ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්න කියලයි. මොකද, තව තවත් බස් ගාස්තු වැඩිකිරීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට විශාල දුෂ්කරතාවයක් මතුවී තිබෙනවා. නමුත් ආණ්ඩුව කියා සිටියේ බස් හිමියන්ට ඉන්ධන සහනාධාර නොදෙන බවත් ගාස්තු ඉහළ දමාගන්නා ලෙසත්ය. ඒ වගේම විදුලි බිලත් වැඩිවීමට නියමිතයි. පසුගියදා ජනාධිපතිවරයා, බැසිල් රාජපක්‍ෂ සහ නාමික ඇමතිවරිය වන පවිත‍්‍රා වන්නිආරච්චි සහ නිළධාරීන් පිරිසක් සාකච්ඡුාවක් පවත්වා තිබෙනවා. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ඒකක 1 සිට 60 දක්වා පරිභෝජනය කරන බිල්පත් සඳහා මිල වැඩිනොරන ලෙසයි. මොකද, විදුලි ඒකක 1 සිට 60 දක්වා පරිභෝජනය කරන්නේ දුප්පත් ජනතාව වන නිසා. නමුත් බැසිල් රාජපක්‍ෂ කියා සිටියේ මිල තීරණය කිරීම නිලධාරීන්ගේ රාජකාරියක් නොවන බවත් එම තීරණ දේශපාලනඥයින්ගේ තීරණ බවත්ය. එනිසා ඉතා දුෂ්කරතාවයට පත්ව සිටින ජනතාවගේ විදුලි බිල තමයි වැඩිවීමට නියමිතව තිබෙන්නේ.

ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරය තුළදී අයවැයෙන් ගෙනා බදු සංශෝධන නීත්‍යානුකූල කරගැනීම සඳහා පනත් සංශෝධන කිිහිපයක් සම්මත කරගැනීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් පනත් සංශෝධන සති දෙකකට කලින් පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. නමුත් එක පනතක්වත් නියමිත වෙලාවට සභාගත කළේ නැහැ. සම්මත කරගැනීමට නියමිත පනත් 21න් සභාගතවෙලා තිබෙන්නේ පනත් 15ක් පමණයි. පසුගිය සිකුරාදා ? 12ටත් මෙම පනත් මන්තී‍්‍රවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙනවා. ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයට රාත‍්‍රී 12ටත් පාර්ලිමේන්තුවේ සේවකයන් පනත ගෙනත් දෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ මුදල් අමාත්‍යංශයේ කාර්්‍යක්‍ෂමතාවයේ කඩා වැටීමයි. මෙම පනත් සංශෝධන ලබන 30වනදාට කලින් සම්මත කරගත යුතුයි. නැතිනම් 2013 අයවැයෙන් ගෙනආ බදු සහ දඩ සංශෝධන නීත්‍යානුකූල වන්නේ නැහැ. බදු සංශෝධන පනත් ටිකවත් නියමිත මාස 3 ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගන්න බැරි මුදල් ඇමතිවරයෙක් අපට ඉන්නේ. මේ රටේ මුදල් ඇමති වන ජනාධිපතිවරයා මූලික වගකීම් පැහැර හරිමින් ඉන්නවා. අනුන්ගේ අමාත්‍යංශවල කටයුතු නිරීක්‍ෂණය කරනවා. ළමයි වඩාගන්න, ගැබිණි මාතාවන් බලන්න යන ජනාධිපතිවරයා තමන්ගේ අමාත්‍යංශයේ කටයුතු ටික හරියට කරන්නේ නැහැ. විකට නාඩගම්, සර්කස් පෙන්වමින් ඉන්නවා. නමුත් ඔහු මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට ගෙනඑන කැබිනට් පති‍්‍රකා ප‍්‍රමාද කරන්නේ නැහැ. මොකද එම කැබිනට් පති‍්‍රකාවල කොමිස් කුට්ටි සැඟවී තිබෙනවා.

විවාහ ලියාපදිංචි සංශෝධන, නොතාරිස් ගාස්තු සංශෝධන, ඇටෝනි බලපත‍්‍ර ගාස්තු සංශෝධන, ලිපි ලේඛණ ලියාපදිංචි ගාස්තු සංශෝධන, මුස්ලිම් විවාහ හා දික් කසාද, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධන, වරාය හා ගුවන් තොටුපොල බදු සංශෝධන ආදිය සඳහා මෙලෙස සංශෝධන බදු පනත් 21ක් සම්මත කරගැනීමට නියමිතයි. අයවැයෙන් ගෙනා සංශෝධන ජනවාරි සිට කි‍්‍රයාත්මක වන අතර එම බදු සංශෝධන මාර්තු 30ට කලින් එනම් මාස 3ක් ඇතුළත සංශෝධන පනත් මගින් සම්මත කරගත යුතුයි. එම පනත් සඳහා ඡන්ද විමසීමට සති 2කට කලින් ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. එම සංශෝධන සඳහා විරුද්ධ වන අයෙකුට අධිකරණයට යාම සඳහා කාලය තිබිය යුතුයි. නමුත් මේ වනවිටත් එම අදාල පනත් සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවේ සභාගත වී නැහැ. එනිසා අයවැයෙන් ගෙනා බදු සංශෝධන පිළිබඳ නීත්‍යානකූලභාවයේ ප‍්‍රශ්නයක් දැනටමත් මතුවී තිබෙනවා.

ඇටෝනි ගාස්තු සංශෝධනයේදී විශාල ලෙස ගාස්තු වැඩිකොට තිබෙනවා. රුපියල් 5.75ක් වූ ඇටෝනි බලපත‍්‍ර ගාස්තුව රුපියල්1500/= දක්වාත් එම බලපත‍්‍ර අවලංගු කිරීම සඳහා රුපියල් 1500/= ක ගාස්තුවකුත් ඇටෝනි බලපත‍්‍ර පිටපතක් ලබා ගැනීමේ ගාස්තුව රුපියල් 105 සිට රුපියල් 1500/= දක්වාත් වැඩිකොට තිබෙනවා. මේ ආකාරයෙන් ඉතා සුළු ගාස්තු විශාල ලෙස වැඩිකොට තිබෙනවා. ඉඩම් ලියාපදිංචියේදී 4%ක මුද්දර ගාස්තු 1-3% දක්වා නොතාරිස් ගාස්තුවට අමතරව කේ.වී.එස්. බලපත‍්‍රය සඳහා රු. 25 සිට රු. 2500 දක්වා ගාස්තු වැඩිවීමක් සිදුකර තිබෙනවා. ඊට අමතරව ඉඩම් ලියාපදිංචිය සහතික කිරීමට ගාස්තුව රුපියල් 1000ක් දක්වා වැඩිකොට තිබෙනවා. මේ ආකාරයෙන් විශාල ලෙස ජනතාව මත බදු බර පටවමින් තිබෙන ආණ්ඩුව මාධ්‍යවලින් බොරු ආර්ථික සංවර්ධනයක් පෙන්වමින් ඉන්නවා.

ආර්ථිකය හැටට හැටේ නැගලා යනවා යයි මාධ්‍යවලින් පුරසාරම් දොඩවන ආණ්ඩුවේ එම සංවර්ධනය ජනතාවට දැනෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට ජනතාව ගැන වගකියන්නේ නැහැ. රාජපක්‍ෂ පාලනය අවුරුදු 8ක් තුළ රටේ ආර්ථිකය ගෙනත් තිබෙන්නේ කොතැනටද? 2013 ආණ්ඩුවේ අපේක්‍ෂිත ආදායම රුපියල් බිලියන 1304ක් වන අතර ගැනීමට අපේක්‍ෂා කරන ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1303ක් වෙනවා. ආණ්ඩුවේ ආදායමට සමාන මුදලක් ණය වශයෙන් ලබාගැනීමට නියමිතයි. සරළව කියනවානම් අවුරුද්දේ මාස 6ක් රටේ ආදායමින් දුවන ආණ්ඩුව අනෙක් මාස 06 සඳහා ණය ලබාගන්නවා. රටේ ආර්ථිකය ගැඹුරු අර්බුදයක ගිලී තිබෙනවා.

මේ අතර ආණ්ඩුව ණය ගැනීම ගැන බොරු බේගල් කියමින් සිටිනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අයවැය හිගය පියවා ගැනීමට ණය ලබාදෙන්නේ නැහැ. මෙවර ආණ්ඩුව ණය ඉල්ලා සිටියේ අයවැය හිඟය පියවා ගැනීමටයි. එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම ප‍්‍රති‍ක්ෂේප කළා. ඔවුන් යෝජනා කළේ ආණ්ඩුවට වෙළඳාපොලෙන් ණය ලබාගන්නා ලෙසයි. ඒ නිසා ආණ්ඩුව දැන් බොරු ප‍්‍රචාර කරමින් ඉන්නවා. මේ නිසා ආණ්ඩුව කෙළවරපිටිය විදුලි බලාගාරය විකුණා දැමීම සඳහා වෙළඳපොලට මුදාහැර තිබෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ දෙවන පියවර සඳහා චීනයෙන් ලබාගැනීමට නියමිත ඩොලර් මිලියන 500ක මුදල සඳහා එම බලාගාරය හිලව් කරන්න යනවා. ආණ්ඩුව එදිනෙදා ගමේ ගොඬේ පුද්ගලයන් ණය ලබාගන්න තමන්ගේ දේපොල උගස් තියන ආකාරයේ ගණුදෙනු සිදුකරමින් ඉන්නවා.

මේ අතර සමහරු කියමින් ඉන්නවා, රෙජීම් චේන්ජ් එකකක් ගැන නමුත් අපි කියන්නේ විය යුත්තේ සිස්ටම් චේන්ජ් එකක් කියලයි. මේ ආණ්ඩුව අනුගමනය කරමින් ඉන්නේ වැරදි ආර්ථික සමාජ ක‍්‍රමයක්. මේ ක‍්‍රමයට අර්බුද සඳහා පිළිතුරු ලබාදිය නොහැකියි. ජීවන වියදම බදු බර, පීඩනය ජනතාව මත පටවන මෙම සමාජ ක‍්‍රමය වෙනුවට ජනතාවට සහන සලසන සමාජ ක‍්‍රමයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. හොරකම්වලට, දූෂණයට, ජනතාව මත මුදා හරින පීඩනයට එරෙහිව රාජපක්‍ෂ පාලනයට එරෙහිව සටන් වැදිය යුතුව තිබෙනවා. වෙන විකල්පයක් ඇත්තේ නැහැ."

Gossip Lanka Hot News Previous News Archive