ශ්‍රී පාදස්‌ථානය දිවි පරදුවට තබා සුරකිනවා

ශ්‍රී පාදස්‌ථානයේ හෝ ඒ අවට රක්‍ෂිතයේ හෙලිකොප්ටර් අංගනයක්‌ හෝ කේබල් කාර් පද්ධතියක්‌ ඉදිකිරීමට ක්‍රියා කළහොත් දිවිපරදුවට තබා ඊට එරෙහිව කටයුතු කරන බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ සහ සමනොළගිර සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ සභාපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමියෝ පවසති.

මීට පෙර ද ශ්‍රී පාදස්‌ථානයේ වීදුරු චෛත්‍යයක්‌ සහ කේබල් කාර් පද්ධතියක්‌ ඉදිකරන බව පවසමින් මුදල් එකතු කළ පිරිසකට එරෙහිව මහනුවර මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක්‌ විභාග වන බව ද උන්වහන්සේ පැවසූහ.ශ්‍රීපාද රක්‍ෂිතයේ කිසිදු ඉදිකිරීමක්‌ සිදුකළ නොහැකි බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ වන විට නියෝගයක්‌ ලබාදී ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති. එවන් අවස්‌ථාවක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ සෙසු අණපනත් උල්ලංඝනය කරමින් යම් පුද්ගලයකු හෝ සංවිධානයක්‌ ශ්‍රී පාදස්‌ථානයේ හෝ ඒ අවට රක්‍ෂිතයේ හෙලිකොප්ටර් අංගනයක්‌ හෝ කේබල් කාර් පද්ධතියක්‌ ඉදිකිරීමට ක්‍රියා කළහොත් එය නවතාලීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කරන බව ද පවසති.

එමෙන්ම ඉහත දැක්‌වූ අධිකරණ හා මානව හිමිකම් කොමිසමේ නියෝගයන්ට බලාත්මක කිරීමට අවශ්‍ය වූවොත් අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පවරා මෙම ඉදිකිරීම්වලට එරෙහිව රිට්‌ ආඥාවක්‌ ලබාගැනීමට වහා ක්‍රියා කරන බව ද කොලොන්නේ සිරි ශාන්ත විජය හිමියෝ පවසති.

Gossip Lanka Hot News Previous News Archive