පැටවා බිහි කර ඇතින්න මෙලොව හැර යයි !

උසස්‌ මනසක්‌ ඇති මිනිසුන්ගේ තිරිසන් ක්‍රියාවන් නිසා අහිංසක ඇතින්නක්‌ ඉකුත් 09 වැනිදා වේදනාවෙන් සිට තම ජීවිතයෙන් සමුගත්තාය. කැලෑවේ ජීවත් වන අලි බොහෝ කලක සිට මෙසේ මස්‌ වැද්දන් විසින් තබන හක්‌ක පටස්‌ කෑමෙන් මියයති.

මේ අයුරින් අහිංසක සතුන් මරණයට පත්කරන පුද්ගලයෝ ත්‍රිකුණාමලය හා ඒ අවට විවිධ ප්‍රදේශවල සිටින අතර වල් ඌරන්ට අටවන හක්‌ක පටස්‌ පිපිරීමෙන් මේ වන විටත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අලි 10 කට වඩා මිය ගොස්‌ ඇත.ඉකුත් 06 වැනිදා හිටි හැටියේම වෙල්ගම් වෙහෙර පූජා භූමියට ඇතින්නියක්‌ පැමිණියේ දහවල් කාලයේය. එය කිසිදු අයකු බලාපොරොත්තු නොවූ සිද්ධියක්‌ බැවින් ඇතින්න දැකීමෙන් ප්‍රදේශවාසීහු බිය වූහ. නමුත් සන්සුන් අයුරින් පැමිණි ඇතින්න වෙල්ගම් වෙහෙර යුද හමුදා කඳවුර පිටුපස වෙල්ගම් රජමහා විහාරයේ පුද බිමේ ඇති කැලෑ රෝදට වැදුණි.
මෙම ඇතින්න ගැන විමසිලිමත්ව සිටි යුද හමුදා සෙබළු මෙන්ම ප්‍රදේශවාසීහු ඇය ගැන දැඩි සැලකිල්ලක්‌ දැක්‌වූහ. 
ඉන් සුළු වෙලාවක්‌ යන්නට පෙර ඇතින්න පැටියකු බිහි කළාය. නමුත් දැඩි අසනීප තත්ත්වය නිසාම මෙම ඇතින්නට දාරක ප්‍රෙමයක්‌ නම් හටගත් බවත් පෙන්නුම් නොකළේ ඒ වනවිටත් ඇතින්නගේ කටේ හක්‌ක පටස්‌ පුපුරා යැමෙන් වූ වේදනාවෙන් සිටීම නිසා විය හැක.

පැටියා බිහිකළ ඇතින්නිය එතැනින් මීටර් 50 ක්‌ පමණ ඈතට ගිය අතර අහිංසක පැටියාට තම මව දැක ගැනීමටවත් නොහැකි වූයේ ඇතින්න තමන්ට අත් වී ඇති ඉරණම හැඟීයැමෙන් දැයි අපට සැක සිතුනි.

නොමිනිසුන්ගේ හිංසාකාරි ක්‍රියාවන් නිසා මෙම ඇතින්නට තම පැටියාට කිරි උගුරක්‌වත් දීමට තරම් වාරුවක්‌ද නොවීය. දින ගණනක්‌ කෑමක්‌ නැතිව සිටි ඇතින්න මනුෂ්‍යත්වයට ගරු කරන මිනිසුන් පන්සලක හෝ සිටි වී යෑයි සිතා මෙම පූජා භූමියට එන්නට ඇත.පැටියා කකුල් හතර එක්‌තැන් කරමින් නැගිටින්න උත්සාහ කළත් වාරු නැතිව කිහිප විටක්‌ බිම ඇද වැටිණි. කීප වරක්‌ උත්සාහ කළත් පැටියා නැගිට ගත්තද සිය මව සොයමින් හඬන්නට විය.

පසුව යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පැමිණ පැටවා කඳවුරට රැගෙන ආ අතර මව කිසිවක්‌ නොකර ඒදෙස බලා සිටියේ දැඩි කම්පාවෙනි.කන්තලේ හා ත්‍රිකුණාමල වන ජීවී නිලධාරීන් පැමිණ පැවටාට කිරි ලබාදුන් අතර කෘතිම කිරි බව හැඟීමෙන් පැටවා හඬන්නට වූයේ මුළු පූජා භූමියම කම්පා කරවමිනි.මේ කිසිවක්‌ ගණන් නොගත් ඇතින්නිය තම තුවාල වේදනාව නිසාම එදෙස බලා සිටියා මිස කිසිවක්‌ කළේ නැත.

පසුව වනජීවී නිලධාරීන් පැටවා තම කැබ් රථයට පවටා ගෙන රැගෙන ගිය අතර ඒ දෙස බලා සිටි ඇතින්න ශබ්ද නගා කෑ ගසන ආකාරය කාටත් ගෙන දුන්නේ වේදනාවකි.අලි පැටියා රැගෙන යන දෙස වේදනාවෙන් බලා සිටි අලි මව දැඩි ලෙස කම්පාවට පත්ව කෑමක්‌ බීමක්‌ ද නොමැතිව දින දෙකක්‌ පමණ එම ස්‌ථානයේ සිට ඉකුත් 09 වැනිදා මේ තිරිසන් සමාජයට ශාප කරමින් ජීවිතයෙන් සමුගත්තාය.

වනජීවි නිලධාරීන් පැවසුවේ මේ ඇතින්නට ප්‍රතිකාර කළද නිෂ්ඵල බවත් මුඛයට ඇති වූ තුවාල සුව කළ නොහැකි බවත්ය. මෙවැනි තිරිසන් වැඩකරන මස්‌ වැද්දන් ගැන නිරන්තරයෙන් අවදියෙන් සිට අල්ලා දීමට පරිසර හිතකාමීන් එක්‌විය යුතු කාලය එළඹ ඇති බව මින් අපට පැහැදිලිය.

ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි

Gossip Lanka Hot News Previous News Archive