බීබීසී වැඩසටහන් ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප්‍රචාරය අත්හිටුවයි

බීබීසී ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවීමට බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂක පීටර් හොරොක්ස් තීරණය කොට තිබේ.

මේ ආකාරයෙන් වැඩසටහන් අත්හිටුවීමට තීරණය කිරීම මගින් අසන්නන් වෙත ඇතිවන අපහසුතාවය පිළිබඳව තම කණගාටුව පළ කරන අතරේ, බීබීසී වැඩසටහන් ඉලක්ක කරමින් එම වැඩසටහන්වල විශ්වසනීයත්වයට හානි වන අන්දමින් කටයුතු කිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. පසුගිය 16 සහ 18 වැනිදා සිය විකාශණ කටයුතුවලට බාධා කිරීම් සිදුවූ බවත් ඒ අනුවතමන් එළඹ ඇති ගිවිසුම උල්ලංඝනය කොට තිබෙන බවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙත දන්වා සිටියත්, මාර්තු 25 වැනිදා යලිත් වරක් සිදුවූ බාධා කිරීම් හමුවේ තමන් වෙත ඉතිරි වූ එකම විසඳුම වැඩසටහන් අත්හිටුවීම බව පීටර් හොරොක්ස් තවදුරටත් ප්‍රකාශ කරයි.


බීබීසී වැඩසටහන් වල අන්තර්ගතය පිළිබඳව යම් ගැටළු පැන නැගුනේ නම් කලින් එකඟව ඇති ආකාරයෙන් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකරමින්, බීබීසී වැඩසටහන් වලට බාධා කිරීම සඳහා පියවර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බවද ඒ තුලින් තම අසන්නන් නොමඟ යැවීමට ඉඩ දිය නොහැකි බවද බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂකවරයා පවසයි.

මෙයට පෙර 2009 දී සිදුවූ මෙවැනි ආකාරයේ බාධා කිරීම් හමුවේ මේ ආකාරයේ පියවරක් ගැනීමට බීබීසී ආයතනය ක්‍රියා කළේය.

- BBC

Gossip Lanka Hot News Previous News Archive