බොදු බල සේනා සංවිධානයට චණ්ඩි පාට් දාන්න පටන් අරන් - ඥානසාර හිමි

අන්තවාදී දේශපාලන කල්ලි හා කණ්ඩායම් බොදු බල සේනා සංවිධානයට දැන් චණ්ඩි පාට් දාන්න පටන්ගෙන තියෙනවා. සිංහලයට එරෙහිව සන්නද්ධ වෙන්න ඕනෑ කියලා ඔවුන් කියනවා. අපි බොහොම ගෞරවයෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා සිංහල ජාතියට ආගමට අපේ රටට හා සම්බුද්ධ ශාසනයට අත තියන්න එපා. බොදු බල සේනා සංවිධානය එයට එරෙහිව නැගී සිටිනවා යැයි බොදු බල සේනා සංවිධානයේ ‍ලේකම් රාජගිරිය සද්ධර්මරාජික විහාරාධීශ්වර ශාස්ත්‍රපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 

ඥානසාර හිමියන් මෙම අදහස් ප්‍රකාශ කළේ දැය නගන මග කියන දැයම එක රොදකට යන තේමාව යටතේ බොදු බල සේනා සංවිධානය ප්‍රාදේශීය මට්ටමින් පවත්වාගෙන යනු ලබන බොදු බල සමුළු මාලාවේ කඩුවෙල මාලඹේ මන්සන්ධියේ පැවැති සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ.

වසර තිහක් උතුරු නැගෙනහිර යුද්ධය පවතිත්දී උතුරේ මුස්ලිම්වරු එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එලවා දැම්මා. දැන් මුස්ලිම්වරුන්ට හිරිහැර කරදර වෙනවා කියලා නම් කරන කවුරුත් එදා කතා කළාද? නැගෙනහිර මුස්ලිම් පල්ලි කඩලා ආගම අදහමින් හිටිය මුස්ලිම්වරු වෙඩි තියලා අමානුෂික ලෙස මරලා දැම්මා. 

අද මුස්ලිම්වරුන්ට හිරිහැර වෙනවා කියලා කතා කරන අය එදා කතා කළාද එදා ඔවුන් පූසෝ වගේ හිටියා අද කියනවා බොදුබල සේනා සංවිධානය මුස්ලිම් වරුන්ට හිරිහැර කරනවලු. මුස්ලිම් පල්ලිවලට ගහනවලු. අපි බොහොම වගකීමෙන් කියනවා අපි මුස්ලිම්වරුන්ට හිරිහැර කරලා නැහැ. මුස්ලිම් පල්ලිවලට ගහලා නැහැ. රටේ ජාතිවාදය අවුස්සලා නැහැ. අපි කියනවා සාකච්ඡාවට එන්න. සංවාදයට එන්න අවුරුදු තිහක් ‍ලේ දැකපු ජාතියක් විදිහට අපි යළිත් ගැටුම් ඇති කරගන්න කැමැති නැහැ. 

 කඩුවෙල මාලඹේ මන්සන්ධියේ පැවැති සමුළුව
හලාල් සහතික නිකුත් කිරීම කුරානයට අනුව විරුද්ධයි. හලාල් සහතික නිකුත් කිරීම අපේ රටේ නීතිය අනුවත් විරුද්ධයි. නමුත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේ රටේ නීතිය ඒ වෙනුවෙන් කළ දෙයක් නැහැ. ලෝකයේ උලමාවරු විදිහට පෙනී සිටින දේව ධර්මවාදීන් හලාල් සහතික කොහේවත් දෙන්න ගිහින් නැහැ.

 හැබැයි ලංකාවේ ඉන්න උලමාවරුන් හලාල් සහතික දෙන්න යනවා. ඉරිදා ජාතික පුවත්පතක තිබුණා හලාල් ලකුණ අකුල ගත්තා කියලා. මාර්තු මාසයේ 31 වැනිදා වන විට මේ රටේ හලාල් තියෙන්න බැහැ. බොරු වළවල් තියලා අපිව මුලා කරන්න බැහැ. සමහරවුන් රට ගැන සංස්කෘතිය ගැන මෙලෝ සතරක් නොදැන බොරුවට තප්පුලනවා. හලාල්වලට උඩගෙඩි දෙනවා. හලාල් රටෙන් ඉවත් කරන තුරු බොදු බල සේනා සංවිධානය විදිහට අපි සටන් කරනවා. කිසිම විදිහකින් අපේ සටන අතහරින්නේ නැහැ. රටට, ජාතියට, ආගමට, බුද්ධ ශාසනයට එරෙහිව ක්‍රියාත්මක වන බලවේගයන්ට එරෙහිව බොදුබල සේනා සංවිධානය ලෙස අපි එරෙහි වෙමින් කටයුතු කරනවා. ආගමික සංහිදියාවකට කැමැති හැමෝම ඇවිත් අපිත් එක්ක එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා.

නන්දන රණසිංහ - අයිරංගි එදිරිසිංහ - කඩුවෙල
Lakbima


Gossip Lanka Hot News Previous News Archive