භික්ෂූන්ට පහරදීමට විරෝධය පා සිල් මාතාවක්‌ උපවාසයේ

චෙන්නායිහිදී ශ්‍රී ලාංකික හිමි නමකට ද්‍රවිඩ ජාතික පිරිසක්‌ විසින් පහරදීමේ සිද්ධියට විරෝධය පාමින් ඇල්පිටිය ඇත්කඳුරේ ආරාමයක වැඩවසන සිල් මාතාවක්‌ ඊයේ (19 දා) ඇල්පිටිය ප්‍රධාන බස්‌ නැවතුම්පළ තුළ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළාය.උපවාසයේ නිරත සිල් මාතාව නම හෙළිකිරීමට අකැමැත්ත දක්‌වන අතර බෞද්ධයන්ට කිසිදු බියකින් චකිතයකින් තොරව දඹදිව වන්දනාමාන කරගැනීමට ඉඩ සලසා දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමින් පෝස්‌ටරයක්‌ද ප්‍රදර්ශනය කර ඇත.
මෙම අවස්‌ථාව දැක බලා ගැනීම සඳහා නගරයේ බස්‌ නැවතුම්පළ අසල විශාල පිරිසක්‌ රැස්‌ව සිටි අතර ඇල්පිටිය පොලිසිය විසින් පොලිස්‌ ආරක්‌ෂාව ලබාදී ඇත.

මේ අතර ශ‍්‍රී ලංකාවෙන් පැමිණෙන්නන්ගේ ආරක්ෂාව සහතික කරන තෙක් ශ‍්‍රී ලාංකිකයන් ඉන්දියාවට කෙරෙන වන්දනා ගමන් අත්හිටුවිය යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් කොළඹ ඊයේ  පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිදුවූ පහරදීම්වල වගකීම තමිල්නාඩුවට පවරා අත පිසදා ගැනීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට නොහැකි බවයි.
ඉන්දීය ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොළඹදී ඊයේ පා ගමනක් ද පැවැත්වුණා. ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණි එම පා ගමන සංවිධාන කෙරුණේ සිංහල රාවය සංවිධානය විසින්.
සිදුවූ පහරදීම සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා කණගාටුව පළ කළත් පවතින තත්ත්වය සම්පූර්ණයෙන් සමනය වන තෙක් තමිල්නාඩු වැසියන්ටශ‍්‍රී ලංකාවට පැමිණීමට වීසා ලබාදීම අත්හිටුවිය යුතු බව එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් අවධාරණය කළා.ජාතික සංඝ සම්මේලනය කොළඹ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණා. එම සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය දොඹගොඩ සාරානන්ද හිමියන් කියා සිටියේ ඉන්දියාවේ සංචාරය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට ද වගකීමක් පැවරෙන බවයි.

Gossip Lanka Hot News Previous News Archive