චෙන්නායි සුපර් කිංග්ස් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඉවත් කිරීමේ සූදානමක

Updates - තමිල්නාඩුවේ අයිපීඑල් තරඟවලට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් නෑ
තමිල්නාඩුවේ පැවැත්වෙන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟවලට ලාංකීය ක්‍රීඩකයන් සහභාගි කර නොගැනීමට අයිපීඑල් සංවිධායකයන් තීරණය කොට ඇතැයි ඉන්දීය එන්ඩීටීවී නාලිකාව ප්‍රකාශ කරයි.

අයිපී එල් සංවිධායකයන එම තීරණය ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගි වන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟ තමිල්නාඩුවේ නොපවත්වන මෙන් මහ ඇමතිනී ජයලලිතා විසින් කරන ලද ඉල්ලීමට වහාම ප්‍රතිචාරය දක්වමින්.ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත ලිපියක් යොමු කරන මහ ඇමතිනිය, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ "වර්ග සංහාරය" සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ජනතාව දැඩිව කිපී සිටින බැවින්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, විනිශ්චයකරුවන්, නිලධාරීන් හෝ සහායක කාර්ය මණ්ඩලය සහභාගි වන කිසිදු තරඟයක් තමිල්නාඩුවේ නොපවත්වන මෙන් සංවිධායකයන්ට උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටියාය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහතික කළ බව ප්‍රකාශ කරයි.ඉන්දියාවේ පවතින වත්මන් වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිලිබඳ ගැටලුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට යොමු කළ බව අවස්ථාවේ තමන්ට එම සහතිකය ලැබුන බවයි, නිවේදනයේ දැක්වෙන්නේ.එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස් පතා තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිවුස්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, අකිල ධනංජය, මුත්තයියා මුරලිදරන්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක සහ කුශාල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරඟ වදින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්.

මතුව තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ගේ ප්‍රතිචාරය විමසා බැලීම පිණිස ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමිතියේ ලේකම් කෙන් ද අල්විස් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
--------------------------------------------------------------------------------------------------------------------------------- මුලාශ්‍රය - Jayalalithaa has her way, no Sri Lankan players in Chennai IPL matches
පෙර පුවත
අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය මාධ්‍ය අද (26) වාර්තා කළා.
චෙන්නායි හි පැවැත්වෙන අයි.පී.එල්. තරගවලදී ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් සහභාගි වීමට තමිල්නාඩු කොටි හිතවාදී දෙමළ දේශපාලන පක්ෂ විරෝධය දැක්වීම ඊට හේතුවයි. නුවන් කුලසේකර සහ අකිල ධනංජය මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය සදහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ නමුත් අනෙකුත් අයි.පී.එල්. කණ්ඩායම් නියෝජනය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ චෙන්නායි තරග පිළිබදව එහිදී පිළිතුරක් ලබාදී නැහැ. කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග, ඇන්ජිලෝ මැතිව්ස් සහ මහේල ජයවර්ධන ද මෙවර අයි.පී.එල්. කණ්ඩායම් නියෝජනය කරනවා. කරුණානිධිගේ පුත‍්‍රයෙකු විසින් මිලදී ගත් සන්රයිසස් හිමිකාරත්වය සහිත හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා කුමාර් සංගක්කාර වන අතර මුම්බායි ඉන්දියන්ස් පිළේ ප‍්‍රධානතම පන්දු යවන්නා ලසිත් මාලිංගයි. 

 මේ හේතුවෙන් සියලූම ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් කිරීමක් සිදුනොවනු ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සදහන් කළේ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ආරම්භක තරගය චෙන්නායි හිදී පවත්වන්නේ ලසිත් මාලිංග ඇතුළත් මුම්බායි ඉන්දියන්ස් පිළ සමගයි.

Gossip Lanka Hot News Previous News Archive