පිළිකාව පැතිරෙයි, බේරෙන්නෙ මෙහෙමයි-Cancer in Sri Lanka is steadily on the rise

වර්තමානය වන විට 'පිළිකාව' සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරී යමින් පවතින රෝගයකි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ග්‍රහණය කර ගනිමින් පවතින මෙම අවාසනාවන්ත රෝගය ප්‍රචණ්ඩකාරීත්වයෙන් යුතුව සමාජගත වෙමින් පවතීය යන්න හුදෙක් අතිශයෝක්තියක් නොවේ. පිළිකාව යන නම ඇසූ පමණින්ම බොහෝ පිරිසක් සිතනුයේ එය සුව කළ නොහැකි මාරාන්තික රෝගයක් බවයි. එහෙත් පිළිකා රෝගය නිසි ප්‍රතිකාර ක්‍රමවේදයක් හරහා සම්පූර්ණයෙන් සුවකර ගැනීමට හැකි රෝගයක් වුවද අද බොහෝ පිරිසක් මෙම රෝගයේ පූර්ව ලක්ෂණ නොදත් නිසා අභාග්‍යසම්පන්න ලෙස පිළිකා රෝගයට ගොදුරු වෙමින් සිටිති. ඒ අනුව මුඛය ආශි්‍රතව හටගන්නා පිළිකා මුඛ පිළිකා වන අතර මෙම පිළිකා රෝගය බහුල වශයෙන්ම වැලඳීමේ අවදානමක් පවතින්නේ පුරුෂ පාර්ශ්වයටයි.

මේ තත්ත්වය වර්තමානයේ ශ්‍රී ලංකාව පුරා කොපමණ දුරකට පැතිරී ඇත්දැයි පැවසුවහොත් මුඛ පිළිකා රෝගය හේතුවෙන් දිනකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මිය යන බව පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබේ.
මුඛ පිළිකාවක් යනු පුද්ගලයාට නිරායාසයෙන් වැලඳෙන රෝගයක් නොවේ. එනම් යමකු මෙම රෝගයට ගොදුරු වන්නේ ඔහු තුළ වන අයහපත් ජීවන පැවැත්ම හේතුවෙනි. උදාහරණ ලෙස මුඛ පිළිකාව වැලඳීමේ ප්‍රබලතම හේතුව දුම් පානය සහ මත්පැන් පානය කිරීමයි. මෙම මත්ද්‍රව්‍ය කාරක හරහා මෙන්ම බුලත් විට සැපීම, මුඛයේ අපිරිසුදු බව යනාදී අක්‍රමිකවත් ජීවන පැවැත්ම මත මුඛ පිළිකා වැලඳීමේ අවදානම වැඩිවේ.

මත්ද්‍රව්‍ය ශරීරගතවීම හරහා සිරුරේ සෛල අලුත්වැඩියා කිරීමේදී ඩී.එන්.ඒ. වෙනස්කම් ඇති වී ඒ හරහා සිරුරේ ස්ථාන රැසක පිළිකා රෝගය ඇතිවිය හැකි බව වෛද්‍ය මතයයි. එබැවින් දුම් පානය, බුලත් විට සහ මත්පැන් පානය පිළිකා රෝගය වැලැඳීමේ ප්‍රබලතම සාධක බව හෙළි වී ඇති කරුණකි.

අද සමාජයේ බොහෝ පිරිසක් පෙලැඹී ඇත්තේ මෙම රෝගය වැලැඳුණු අවස්ථාවකදී සුවකරගැනීමට වෙහෙසීම වන අතර පිළිකා රෝගය වැලැඳීමේ හැකියාව පාලනය කරගැනීමට නොවේ. එහෙත් වෛද්‍ය නිගමනයන්ට අනුව හෙළි වී ඇති ප්‍රබලතම කරුණක් වන්නේ පිළිකා රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ගෙන් බොහෝ දෙනකු මානසික ආතතියෙන් සමන්විත පිරිස් බවයි. එබැවින් පිළිකාව වැලැඳීමෙන් පසුව නිසි සුවතාව සොයා යෑමට වඩා මෙම පීඩාකාරී රෝගයෙන් මිදීමේ වපසරිය නිමවා ගත යුත්තේ තමා විසින්මයි. එනම් නිසි ලෙස දිනකට සුළු වේලාවක් හෝ ව්‍යායාමයන් කිරීමේ නිරත වන, මානසික ආතතියෙන් නොපෙළෙන, කාර්යක්ෂමව වැඩ කරන, මත්ද්‍රව්‍ය භාවිත නොකරන සහ සමාජශීලී පුද්ගලයන් පිළිකා රෝගයෙන් පීඩා විඳීමේ අවදානම ඉතාමත්ම අඩු බව වෛද්‍ය පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබේ.

එවන් අවදානමක් නොලබා මුඛ පිළිකා රෝගයට යමකු ගොදුරු වූයේ නම් එහි මූලමය අවස්ථාවේදීම දන්ත වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතුය. මුඛය තුළ කල් පවතින වේදනාවක් නොමැති, ඉවත් කළ නොහැකි සුදු හෝ රත් පැහැති ලප තිබේ නම් වහාම දන්ත වෛද්‍යවරයකු හමුවීම වැදගත්ය. ඒ මතු නොව මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක්ද සමඟ තොල් සහ මුඛ ශ්ලේෂ්මලය රළු වීමක්, සුදුවීමක් හෝ කල් පවතින සුවතාවක් නොමැති තුවාලයක් ඇතිනම් එය මුඛ පිළිකා රෝග ලක්ෂණයන් වේ.
ගලනාල ආශි්‍රතව පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවදානම බොහෝ සේ වැඩිය. සති තුනක කාලයක් අඛණ්ඩව පවතින උගුරෙහි යමක් ගිලීමේදී පවතින අපහසුතාව, ගිලීමේදී දැනෙන අධික වේදනාව සහ සීමිත දිනකදී ශරීරයේ සිදුවන බර අඩුවීම වැනි රෝග ලක්ෂණ ගලනාල ආශි්‍රත පිළිකාවේ ලක්ෂණයන් වේ.

වර්තමානයේ කාර්යබහුල සමාජයේ පෝෂ්‍යදායී ආහාර ක්‍රමවේදයෙන් පුද්ගලයා බොහෝ සේ අෑත්වෙමින් පවතී. අද ආහාරයට ගන්නා බොහොමයක් කෑම තුළ ඇත්තේ ඔෟෂධ ගුණ නොව රසායනික විෂ ද්‍රව්‍යයන්ය. එසේත් නැතිනම් අධික තෙල්ය. පළිබෝධනාශක සහිත ආහාර අඛණ්ඩව ශරීරගත වීම තුළින්ද පිළිකාව වැලැඳීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් සොයාගත් කරුණකි. රසායනික විෂ ද්‍රව්‍යයන්ගෙන් තොර එළවළු සහ පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන්, කෙඳි සහිත ආහාර (කොහිල, පලතුරු, එළවළු) ආහාරයට ගැනීමෙන් මෙන්ම ලුණු හා සංතෘප්ත මේදය අඩු ආහාර ආහාරයට ගැනීමෙන්ද පිළිකාව වැලඳීමේ අවදානම අඩු වේ. අධික ස්ථුලතාවයෙන් පිරි ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට පිළිකා රෝගය වැලැඳීමේ අවදානම බහුල වන අතර පෝෂ්‍යදායී ආහාර ක්‍රමවේදයක් හරහා අධික ස්ථුලතාව මඟහරවා පිළිකා රෝගයට ගොදුරුවීමේ අවදානම තමා විසින්ම මැඬපවත්වා ගත හැකිය.

යථෝක්ත පිළිකා හැරුණු විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලවම හටගන්නා පිළිකා වන්නේ පියයුරු පිළිකාව බව ජාතික පිළිකා මර්දන වැඩසටහන මඟින් කළ පර්යේෂණයන්ගෙන් තහවුරු වී ඇත.පියයුරුවල අසාමාන්‍යතාවක් ඇති වුවද නොදැනුම්වත්කම හේතුවෙන් එයට ප්‍රතිකාර ගැනීමට කාන්තාවෝ බොහෝ දෙනෙක් ඉදිරිපත් නොවෙති. එම නොදැනුම්වත්භාවය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ජීවිත හානි පවා සිදුවූ අවස්ථා පවතී. එවන් අවදානමක් නොලබා ස්වයං පියයුරු පරික්ෂාවකින් අනතුරුව සායනික පියයුරු පරික්ෂාව සඳහා 'සුවනාරි සායනය' සඳහා යෑම වැදගත් වේ. ප්‍රතිශතයක් ලෙස ගැනීමේදී කාන්තාවන් අතර පවතින පිළිකා විශේෂයක් ලෙස ගැබ්ගෙල පිළිකාව හැඳින්විය හැකිය. වර්තමානය වන විට පවතින අසම්මත සහ අක්‍රමවත් ලිංගික හැසිරීම් හමුවේ කාන්තාවන්ට වැලඳෙන ගැබ්ගෙල පිළිකාව මෙරට කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතුරින් දෙවන ස්ථානය හිමිවී තිබීම ඛේදයකි. පුරුෂයන්ට මත්ද්‍රව්‍ය භාවිතය නොකොට මුඛ පිළිකාව සංසිඳුවාලිය හැකි සේම කාන්තාවන්ටද ලිංගික අක්‍රමිකතා සිදු නොකොට ගැබ්ගෙල පිළිකාව වළක්වාලිය හැකිය.

වෛද්‍ය මතයට අනුව එම පිළිකාව වැලැඳීම සම්පූර්ණයෙන්ම සිදුවන්නේ තමා තුළ පවතින දුර්වලතාවන් මත බැවින් එම රෝගය වැලඳීමේ අවදානම හුදෙක් තමා විසින්ම මැඬපවත්වා ගතයුතුය. ගැබ්ගෙල ආශි්‍රත පිළිකා අති විශේෂ පරීක්ෂණයක් වන පැප් පරික්ෂා සිදුකර ගැනීම ප්‍රදේශයේ පවතින සුවනාරි සායනවලදී හැකිය. එබැවින් වයස 35ට වැඩි සෑම කාන්තාවකම මෙම පර්යේෂණය සඳහා සුවනාරි සායන සඳහා ඉදිරිපත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව වෛද්‍යවරුන්ගේ පිළිගැනීමයි.පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, මොළය ආශි්‍රත පිළිකාද හටගැනීමේ වාතාවරණය පවතින්නේ තමා සතු ඇවැතුම් පැවැතුම් රටාව මතය. පිළිකාව වනාහී දෛවයේ සරදමක් යැයි පැවැසීම හුදෙක් හුදු මතයක්ම බව ඉහත කරුණු අධ්‍යයනය කිරීමේදී පසක් වන කරුණකි.

සමිත් මධුරංග
උපුටා ගැනීම  -මව්බිම 

Gossip Lanka Hot News Previous News Archive