මීතොටමුල්ල කුණු සටන

කොළොන්නාව මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත් කරන්නැයි උද්ඝෝෂණයේ යෙදුණු ප්‍රදේශවාසීන්, හාරසීයක් පමණ වූ පොලිස් භට පිරිසක් හා කැරැලි මර්දන ඒකකයේ භට පිරිසක් විසින් බලහත්කාරයෙන් ඊයේ ඉවත් කෙරිණි. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ප්‍රධාන ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කරමින් සිටි ස්ථානයට පැමිණ උද්ඝෝෂණය නවතා දමන ලෙසට අධිකරණ නියෝගයක් ලැබී ඇති බව පවසා උද්ඝෝෂකයන් පොලිස් බලය යොදවා ඉවත් කරනු ලැබීය.

උද්ඝෝෂකයන් අතර සිටි කාන්තාවක සහ තවත් සිවුදෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් ඊයේ දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කෙළේය.මීතොටමුල්ල ප්‍රදේශයට කසළ දැමීම නතර කරන ලෙසත් දැනට පවතින කුණු කන්ද ඉවත් කරන ලෙසත් බලකරමින් පසුගිය 6 වැනි දින සිට මීතොටමුල්ල ප්‍රදේශවාසීහු සත්‍යග්‍රහයක නිරත වී සිටියහ.

මීතොටමුල්ල ප්‍රදේශයේ දිනකට ටොන් අටසීයක පමණ කසළ ගෙනැවිත් දමන බවත් දිනෙන් දින එම ප්‍රදේශයේ එකතු වන කුණු කන්ද නිසා ප්‍රදේශවාසීන්ට විශාල බලපෑමක් සිදුවන බවත් පෙන්වා දෙමින් දින තුනක් පවත්වාගෙන ගිය මේ සත්‍යග්‍රහය නිසා කසළ දැමීමට නොහැකි ට්‍රැක්ටර් රථ බොහොමයක් මඟ සිරවී තිබෙනු දක්නට ලැබිණි.

Gossip Lanka Hot News Previous News Archive