T.M. ජයරත්නයන්ගේ 'සොඳුරු අතීතය' මැයි 11 වැනිදා ඇරඹෙයි

මෙරට ගීත සාහිත්‍යයේ සුවිශේෂී පර්ච්ඡේදයකට හිමිකම් කියනු ලබන ජ්‍යෙෂ්ඨ සංගීතවේදී ටී.එම්. ජයරත්නයන්ගේ පළමු ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ‘‘සොඳුරු අතීතය“ මැයි මස 11 වන දින කොළඹ මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දශක පහකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සුභාවිත ගීතයේ උන්නතිය වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටු කළ ටී.එම්. ජයරත්නයන්, මෙලෙස ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වනුයේ සිය ජීවිතයේ පළමු වතාවට වීම විශේෂත්වයකි.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා හමුවක් පසුගිය දා කොළඹ දී පැවැත්වීය. මේ සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, නන්දා මාලිනී, කුලරත්න ආරියවංශ මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයින් රැසක් එක්වී සිටියහ. 

 ටී.එම්. ජයරත්නයන්ගේ මෙම ඒක පුද්ගල ගී ප්‍රසංගය සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ සත්යේන්ද විජයපුර මහතා සහ එම මහත්මියයි. මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් විජයපුර මහතා කියා සිටියේ තමන් ටී.එම්. ජයරත්න ගායකයාණන්ගේ ගීතවලට ඉමහත් ඇල්මක් දක්වන රසිකයෙකු බවත්, මෙවැනි ප්‍රසංගයක් සඳහා එතුමාගේ කැමැත්ත ලබා ගැනීමට තමන්ට දැඩි ආයාසයක් දැරීමට සිදුවූ බවත්ය. එසේම “සොඳුරු අතීතය“ සංගීත ප්‍රසංගයේ අනුග්‍රාහකයා වශයෙන් තමන්ව හඳුන්වනවාට වඩා මෙම ප්‍රසංගයේ පහසුකම් සලසන්නා වශයෙන් තමාව හඳුන්වන්නේ නම් තමා වැඩි කැමැත්තක් දක්වන බවත් ඔහු මෙහිදී කියා සිටියේය. මන්ද ප්‍රසංගයට අවශ්‍ය මූල්‍ය දායකත්වය තමන් විසින් ලබා දෙනවා මිස ප්‍රසංගයේ වෙනත් කිසිදු කටයුත්තකට තමන් විසින් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බැව් ඔහු මෙහිදී කියා සිටි බැවිනි.

ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වීමට මෙතරම් ප්‍රමාද වීම පිළිබඳව අදහස් දක්වමින් ටී.එම්. ජයරත්න මහතා මෙහිදී කියා සිටියේ, තමන් පරිණත ගායකයෙකු වනතෙක් එවැනි භාරදූර කටයුත්තක් වෙනුවෙන් මුලපිරීමට තමන් පසුබට වූ බවයි. එසේම එවැනි ගීත ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය සුදුසුකම් සියල්ලක්ම පාහේ මේ වන විට තමන් විසින් සපුරා ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු මෙහිදී පැවසීය. 







Gossip Lanka Hot News Previous News Archive