චීන සබ්මැරීන යාත්‍රා දකුණේ මුහුදට හොරෙන් ඇවිත්

චීන නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික සබ්මැරීන් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ඉන්දීය සාගරය 13 වතාවක් රහසේ නිරීක්‍ෂණයක යෙදී ඇතැයි හෙළිවී තිබේ. ඉන්දීය සාගරයේ චීන නාවික හමුදා රහස් ක්‍රියාකාරකම් පිළිබඳ සෙවිල්ලෙන් සිටින ඉන්දීය නාවික හමුදා මේ බව සඳහන් කරමින් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශය වෙත යවන ලද රහස්‍ය වාර්තාවකින් මේ සබ්මැරීන් නිරීක්‍ෂණය පිළිබඳ හෙළිවී ඇතැයි 'ඉන්දියා ටුඩේ' වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඉන්දීය නාවික හමුදාව එරට ආරක්‍ෂක අමාත්‍යංශය වෙත යවන ලද වාර්තාවේ සඳහන් චීන න්‍යෂ්ටික සබ්මැරීන් ආක්‍රමණයේ නවතම සිද්ධිය වී ඇත්තේ 2013 පෙබරවාරි මාසයේදීය.
ඉන්දීය සාගරයේ නිකොබාර් හා අන්දමන් දූපත් අසල මුහුදට චීන න්‍යෂ්ටික සබ්මැරීනයක් පැමිණි බවට ඉන්දීය හා අමෙරිකානු 'සෝනාර්' උපකරණවල පෙබරවාරි මාසයේදී සටහන් වී තිබේ.අමෙරිකා හා ඉන්දීය ආරක්‍ෂක අංශයන්හි බුද්ධි තොරතුරුවලට අනුව 'චීන සබ්මැරීන' හැර වෙනත් කිසිදු රටකට අයත් සබ්මැරීන ඉන්දීය සාගරයට ඇතුළු වීමට හැකියාවක් නැති බව පැවැසෙන අතර මෙසේ චීන නාවික හමුදාවට අයත් සබ්මැරීන කිසිදු බාධාවකින් තොරව ඉන්දීය සාගරයේ රහස් නිරීක්‍ෂණයක් කිරීම ඉන්දීය නාවික හමුදාවට බරපතළ හිසරදයක් බවට පත්ව ඇතැයිද පැවැසේ.

නිකොබාර් දූපත් අසලදී චීන හා අමෙරිකානු 'සෝනාර්' උපකරණවලට හසුවූ චීන සබ්මැරීනය ඉන්දියාවට කිලෝමීටර් 90ක් තරම් කිට්ටු දුරකදී වාර්තා වී තිබේ.
ඉන්දීය නාවික හමුදාවේ රහස් වාර්තාවට අනුව වයඹ දිග මලක්කා සමුද්‍ර සන්ධියට 6 වතාවක් ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ඉන්දියන් සාගරයට 13 වතාවක් හා අරාබි මුහුදට දෙවතාවක් හොර රහසේ චීන න්‍යෂ්ටික සබ්මැරීන ඇතුළු වී ඇත.

2012 වසරේ අගෝස්තු මාසයේදී ඉන්දීය සාගරයේ ආරක්‍ෂක කටයුතුවල යෙදී සිටින අමෙරිකා-ඉන්දීය ඒකාබද්ධ නාවික හමුදාවලට පළමු සැකකටයුතු සබ්මැරීනය වාර්තා වී තිබූ අතර ඉන්දීය-අමෙරිකානු නාවික හමුදාවල විශ්වාසයට අනුව එය චීන සබ්මැරීනයකි.

ඉන්දීය වාර්තාවට අනුව දකුණු චීන මුහුදේ 'සානියා' නම් ප්‍රදේශයෙන් දියත්වන මේ න්‍යෂ්ටික සබ්මැරීනයක් සැතැපුම් 10,000ක දුරක් ඉතා ගැඹුරු මුහුදේ ගමන් කරයි.
ඉන්දීය නාවික හමුදාවේ විශ්වාසයට අනුව මේ චීන න්‍යෂ්ටික සබ්මැරීනවල අභිප්‍රාය වී ඇත්තේ ඉන්දීය නාවික හමුදාවට හොරෙන් ඉන්දීය සාගරයට ඇතුළු වීමේ ඉඩකඩ සොයා බැලීමයි.

එසේ හොරෙන් ඇතුළු වීමේදී ඉන්දීය නාවික හමුදා විසින් අනුගමනය කරන ප්‍රතිවිරෝධී ක්‍රියාමාර්ග අධ්‍යයනය කර කලාපයේ ස්ථිර ලෙස සබ්මැරීන ස්ථානගත කිරීම චීනයේ අරමුණ බව ඉන්දීය නාවික හමුදාව ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයට වාර්තා කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive