මාග්‍රට්‌ තැචර් මියයයි

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාගරට්‌ තැචර් මහත්මිය හෘදයාබාධයකින් මිය ගියාය. බ්‍රිතානයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර්ගේ අභාවය සම්බන්ධයෙන් ලොව පුරා රාජ්‍ය නායකයන්ගේ ශෝකය පළ වෙමිනුයි පවතින්නේ.

1925 දී උපත ලද මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු අගමැතිනිය හැටියට වාර්තාවක් ද එක් කරමින් පදවියට පත් වුනේ 1979 දී.1990 දී පදවියෙන් සමුගත් මාග්‍රට් තැචර්, විසිවැනි සියවසේ වැඩිම කාලයක් බ්‍රිතාන්‍යයේ අගමැති පදවිය දැරූ තැනැත්තා හැටියට ද ඉතිහාසයට එක් වෙයි.

රසායන විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂිකාවක් හැටියට සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මාග්‍රට් තැචර්, අනතුරුව නීතිය පිළිබඳව උපාධියක් දිනාගත් අතර ඉන් පසුවයි, කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුනේ.ඉතාම කෙටි කාලයක් ඇතුලත කොන්සර්වේටිව් පක්ෂයේ මුදුන් පෙත්තටම ගමන් ගැණීමට සමත් වූ ඇය මැතිවරණ තුනකට මුහුණ දුන් අතර එම මැතිවරණ සියල්ලම ඉහලින්ම ජය ගැනීමට සමත් විය.


"යකඩ ගැහැණිය" හැටියට දේශපාලන සමාජයෙහි හැඳින්වුන අගමැතිනි තැචර්, බ්‍රිතාන්‍යයේ මුල්පෙළේ කර්මාන්ත රැසක් පෞද්ගලීකරණය කිරීමට පියවර ගත් අතර, ඇය වඩාත්ම දේශපාලන උදහසට ලක්වුණේ බ්‍රිතාන්‍ය පතල් කම්කරු අරගලය මැඩලීමට ගෙන ගිය දැඩි අනම්‍ය පිළිවෙත හමුවේ.

ගල් අඟුරු ආකර වසා දමා රැකියා කප්පාදු කිරීමට එරෙහිව අසුව දශකය මැද දියත් කැරුණු වර්ජනය, ප්‍රචණ්ඩ රාජ්‍ය බලය යොදා ගනිමින් මර්දනය කිරීම බ්‍රිතාන්‍ය කම්කරු ව්‍යාපාරය ලත් මහත් පරාජයක් සේම, තැචර් අගමැතිනිගේ දේශපාලනයේ සන්ධිස්ථානයක් සේ සැලකේ.මාග්‍රට් තැචර් ,බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයට නව වාර්තා එක්කරමින් දීර්ඝ කාලයක් බලයේ සිටීමට සමත් වූයේ නමුත්,ඇය එම පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් මහජන අප්‍රසාදයට පත් වූ නායිකාව බවටද පත් විය.

එම ප්‍රවණතාවයේ කඩයිම වුනේ ඇයගේ නියෝගයෙන් ආර්ජන්ටිනාවට එරෙහිව පෝක්ලන්ත දූපත්වල බ්‍රිතාන්‍ය යුද හමුදා බලය යෙදවීමයි.ඉන් අනතුරු සමයෙහි බ්‍රයිටන් නගරයේ පැවැත්වුන කොන්සර්වේටිව් පක්ෂ සමුළුවට සහභාගී වෙමින් සිටියදී අයි ආර් ඒ සංවිධානය එල්ල කල බෝම්බ ප්‍රහාරයකින් ඇයගේ ජීවිතය බේරුනේ යාන්තමින්.

මාග්‍රට් තැචර් යුරෝපය සම්බන්ධයෙන් දරන ලද ස්ථාවරය මත 1983 න් පසු ඇය කොන්සර්වේටිව් පක්ෂයේ සිය සගයන් සමඟ ගැටුන අතර එහි අවසන් ප්‍රතිපලය හැටියටයි, නියමිත කාලයට පෙරම ,ඇයට අගමැති පදවියෙන් සමු ගැනීමට සිදු වුනේ.සිය ජීවිතයෙන් සමු ගන්නා විට ඇයට වයස අවුරුදු 87ක් විය.සම්මුති කාමයට එරෙහි නායිකාවක් ලෙසින් ඇය පවත්වාගෙන ගිය භේදකාරී පිළිවෙත කොන්සර්වේටිව් පක්ෂය ඇතුලෙත්, වීදියේත් කැරලිකාරිත්වයට තුඩු දුන්නේය.

බී. බී. සී. පුවත්

Gossip Lanka Hot News Previous News Archive