වෙසක් උළෙලට ලොව පුරා බෞද්ධ ජනතාව සැදැහැ සිතින් එක්‌වෙති

රට පුරා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන
ලොව බිහිවූ ශේ්‍රෂ්ඨතම ශාස්‌තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කරමින් අදට (24 වැනිදා) යෙදෙන වෙසක්‌ පුන් පොහෝ දිනය සැමරීම සඳහා ලොව පුරා බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් සැදැහැ සිතින් එක්‌වෙති.

අද (24 වැනිදා) රට පුරා වෙහෙර විහාරස්‌ථානවල ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් පිංකම් පැවැත්වෙන අතර කොළඹ නගරය ඇතුළුව රට පුරා සෑම නගරයකම වෙසක්‌ කලාප පවත්වමින් තොරණ, වෙසක්‌ පහන්කූඩු, දන්සල් ආදී ආමිස පූජාවන් පවත්වනු ලැබේ.කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙසක්‌ තොරණ 36 ක්‌ හා වෙසක්‌ කලාප 06 ක්‌, සර්වඥ ධාතු ප්‍රදර්ශන පැවැත්වේ. මෙවර වෙසක්‌ උත්සවයේ විශේෂත්වය වනුයේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්‌වා දාන, ශීල හා භාවනා වැඩසටහන් මෙන්ම වෙසක්‌ සැරසිලි, දන්සල්, පහන්කූඩු ප්‍රදර්ශන ඇතුළු පිංකම් රැසක්‌ පැවැත්වීමය.

පෑලියගොඩ, දෙමටගොඩ, තොටළඟ, පිටකොටුව, බෞද්ධාලෝක මාවත, කොළඹ හුණුපිටිය, කොස්‌ගස්‌හන්දිය, කැලණිය, කඩවත, කිරිබත්ගොඩ යන ප්‍රදේශවල මෙවර ද වෙසක්‌ තොරණ ප්‍රදර්ශනය කෙරේ.

Gossip Lanka Hot News Previous News Archive