දහස් ගණනකගේ සෝ සුසුම් මැද ඉන්ද්‍රරතන හිමියෝ සමුගනිති

ගව ඝාතනයට විරෝධය දක්‌වමින් මහනුවරදී සිරුරට ගිනි තබා ගැනීමෙන් අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්‌වීම සඳහා ඊයේ (28 වැනිදා) සුදු වතින් සැරසී දස දහස්‌ ගණනින් ජනයා කහවත්ත පොරෝනුව ශ්‍රී සුගත විහාරස්‌ථානයට එක්‌රොක්‌ වූහ.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ ජනතා සෝ සුසුම් මැද සිදු කෙරුණු අතර ඒ නිමිත්තෙන් කහවත්ත නගරයේ සියලුම සුරාසල් සහ මස්‌කඩ වසා දමා තිබිණි.එසේම ප්‍රදේශය පුරා ඉන්ද්‍රරතන හිමියන්ගේ රුව සහිත ශෝක ප්‍රකාශ ද කහ පැහැති කොඩිවැල් ද දක්‌නට ලැබුණි.අතිවිශාල ජනගඟ පාලනය කිරීමට සහ ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා විශාල පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණි.මෙරට සිදුවන ගව ඝාතන නතර කරන ලෙසත්, බෞද්ධ ජනතාව අන්‍යාගම් වෙත යොමු කරවා ගැනීම නවතන ලෙසත් ඉල්ලමින් පසුගිය 24 වැනිදා ඉන්ද්‍රරතන හිමියෝ මහනුවරදී තම සිරුරට පෙට්‍රල් දමා ගනිමින් ගිනිතබා ගත්හ.

බරපතළ තුවාල ලද ඒ හිමියෝ හෙලිකොප්ටර් යානයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන විත් දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලැබූහ.තිස්‌ හැවිරිදි වියේ පසු වූ ඉන්ද්‍රරතන හිමියෝ පසුගිය 25 වැනිදා කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ.දේහය පසුගිය 26 වැනිදා රත්නපුරයට රැගෙන යැමෙන් අනතුරුව එහි අවමංගල්‍ය ශාලාවකදී සකස්‌ කර, රථ පෙරහැරකින් කහවත්ත පොරෝනුව සුගතාරාම විහාරස්‌ථානය වෙත වැඩම කරවනු ලැබීය.
ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, සිංහල රාවය සංවිධානයේ අක්මීමන දයාරත්න, බොදුබල සේනා සංවිධානයේ ගලබඩඅත්තේ ඥානසාර යන හිමිවරුන් පැවිදි අනුශාසනා සිදු කළහ.

චම්පික රණවක, ජෝන් සෙනෙවිරත්න, අතුල කුමාර රාහුබද්ද යන මහත්වරුන් ද කතා කළහ. ඉන්ද්‍රරතන හිමියෝ එඩිතර අභීත චරිතයක් බව ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයා කීවේය.

Last rites for self-immolation monk
  





Gossip Lanka Hot News Previous News Archive