දුමින්ද සඟවාගෙන හිටිය හැමෝම කළේ බොරුවක් - Hirunika Premachandra


"මිනිමැරුමක සැකකරුවෙක් මල් මාලා දාලා, රතිඤ්ඤා පත්තු කරලා පිළිගන්න එක හරිම පිළිකුල් සහගතයි"

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් ගෙදරට ගියේය. ඉන්පසු සමාජය මේ ගැන නොයෙක් දෙවල් කියන්නට විය. ඝාතනය වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය කියන්නේ සත්‍ය කවදා හෝ ජය ගන්නවා ඇත කියාය. ඒ ගැන හිරුණිකා මෙසේ තම අදහස් දැක්වූවාය.

දුමින්ද සිල්වා සුව වෙලා රෝහලෙන් පිටවී ගිය. ඔබගේ පියාට සාධාරණයක් කරන්න ඔබ ගත් උත්සාහය ගඟට කැපූ ඉනි වගේ නේද?

මේ සිදුවීම රටේ නීතිය ඇතුළු සියලූම පාර්ශව නොමග යවලා. මුළාවට පත් කරපු දෙයක් බව අද මුළු රටම දන්නවා. මේක නීතියට සිදුකළ බරපතළ අපහාසයක් බව කිව යුතුයි.මේ කරන්නේ බොරුවක් බව මම හැමදාම කිව්වා. වෙඩි තබපු වෙලේ පටන් සෑම නඩු වාරයකටම මම සහභාගි වුණා. නමුත් අපිට සාක්ෂි ඔප්පු කරගන්න විදියක් තිබුණෙ නෑ. දුමින්ද සිල්වාට අමාරු බව පවසමින් ඔහු සඟවාගෙන හිටිය හැමෝම කළේ බොරුවක්.


නමුත් දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව පවසලා තිබුණා නේද?

අද මෙම පද්ගලයා ආශ්චර්යකින් එකපාරටම සුවවෙලා ඇවිත් තියෙනවා. හිස්කබලට වුණු තුවාලයක් තියෙන ෆොටෝ එකක් පෙන්නලා නීතීඥයන් කිව්වෙ අභ්‍යන්තරයට විෂබීජ ඇතුළුවෙන හින්දා ආරක්ෂා කළයුතු බවයි. ඒ වගේම දුමින්දට මාස දෙකකින් දේශපාලනය කරන්න පුළුවන් කියලත් වරක් කිව්වා. එක පැත්තකින් අමාරු බව පෙන්නලා අනිත් පැත්තෙන් දේශපාලනය කරන බව කීම පරස්පර විරෝධීයි.

මගේ තාත්තා මියගිය සිදුවීමේදී තාත්තා ළඟ වැඩකරපු ගාමිණි රාජපක්ෂට තුවාල වුණාට මේ අවුරුදු 1 1/2 ඇතුළත විධිමත් විදියට ප‍්‍රතිකාර ලබා දුන්නෙ නෑ. ඖෂධ දීලා තිබුණෙ නෑ. වැලිකඩ වගේ තැන්වල රඳවලා තිබුණා. නමුත් දුමින්ද වසර එකහමාරක් සැප වින්දා. මෙතනදිත් පේනවා දෙන්නට නීති දෙකක් ක‍්‍රියාත්මක වෙලා තියෙන බව.

දුමින්දට ඇප දෙන දවසේ අධිකරණය කියලා තිබුණා දැනට මානසික මට්ටම තියෙන්නේ 50‍්‍ර ක් හින්දා අනිත් 50‍්‍ර හදාගන්න නම් ගෙදර එක්ක යන්න කියලා. ඊට පහුවෙනිදා වෙනකොට මානසික මට්ටම හොඳ වුණේ කොහොමද කියන එක ප‍්‍රශ්නයක්. එතනත් පරස්පරතාවක් තියෙනවා.

මේ නඩුව පටන් ගත් දවසේ ඉඳන් මේ දක්වා සෑම නඩු වාරයකටම ඔබ සහභාගි වුණා. උසාවිය තුළ සිදුවුණු දේවල් පැහැදිලිවම ඔබ අහන්න, දකින්න ඇති නේද?

මේ නඩුව පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් මමත්, අම්මත් බොරු කිව්වෙ නැහැ. මේක තනිකරම දේශපාලන මිනීමැරුමක්. හැම නඩුවාරයකටම මමත්, අම්මත් සහභාගි වුණා. එහි සිදුවන දේවල් අපි දැක්කා. දුමින්දගේ නීතිඥයන් කරන කියන දේවල් අපි දැක්කා. ඒ ගැන සාක්ෂි ඇතිව පෙන්වන්න අපිට පුළුවන්කම නැති වුණාට මම නිතරම ඒ සිදුවීම් ගැන මාධ්‍යට කිව්වා.

ඔබ කාටද චොදනා කරන්නේ. අධිකරණයටද? වෛද්‍යවරුන්ටද? එහෙමත් නැත්නම් රට පාලනය කරන පිරිස්වලටද?

මගේ තාත්තා ඝාතනය කරලා අවුරුදු එකහමාරක් යනකම් දුමින්ද සිල්වා කවුරුවත් දැක්කේ නෑ. සමාජයෙන් හංගලයි හිටියේ. ඔහුගේ ඇත්ත ස්වරූපය පෙන්නුවේ නෑ. ඔළුව තුවාලවුණු ෆොටෝ එකක් විතරක් නීතිඥයා පෙන්නුවා විතරයි අපි දැක්කෙ. මේවා ඔක්කොම දේශපාලන බලයෙන් කරපු දේවල්. වෛද්‍යවරයෙක් වෘත්තිය භාරගනිද්දි ප‍්‍රතිඥාවක් දෙනවා අවංකව, බොරු නොකරමින් රෝගියාට තමන්ගේ සේවය ලබාදෙන බවට. එහෙත් ඇතැම් වෘත්තිකයින් වැඩකරලා තියෙන්නේ වෘත්තියට නිගරුවන අයුරට. බොරු හේතු ඉදිරිපත් කරමින් සමාජයම මුළා කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා.

ඔපරේෂන් එකක් කරපු කෙනෙකුට විෂබීජ ඇතුළුවෙන්න හොඳ නෑ කියලා වෛද්‍යවරු නිර්දේශ කරන්නේ අසාධ්‍ය තත්ත්වයේ ඉන්න විටයි. එහෙම කෙනෙකුට සාමාන්‍යයෙන් කොච්චර වේදනාවක් දැනෙනවද? අපි දන්නවා පොඩි ඔළුවෙ කැක්කුමක් හැදුනත් අපිට ඉන්න අමාරුයි. ඒත් මොළේ ෙසෙල විනාශ වුණා කියපු, විෂබීජවලින් ආරක්ෂා කරන්න පෞද්ගලික රෝහලක සැප කාමරයක හිටිය දුමින්ද සිල්වා එකපාරටම කකුල් දෙකෙන් හිටගත්තේ කොහොම්ද? කෑගහගෙන මිනිස්සු පොරකන තැනකට ගියේ කොහොමද?

දුමින්ද සිල්වා රෝහලෙන් පිටතට පැමිණි විට කිව්වා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ගන්න යනවා කියලා. ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ?

රෝහලෙන් එළියට ආව ගමන් කරපු ප‍්‍රකාශය ඉතා බරපතළ එකක්. මේ විදියට රටේ ඉන්න සියලූම සැකකරුවන් ජනාධිපතිතුමා මුණගැහිලා ආශිර්වාද ලබාගන්න ගියොත් මොකද වෙන්නෙ. මේක නරක ආදර්ශයක්.

මෙම පුද්ගලයා මෙච්චර කල් රඟපෑම කළේ. අපරාධකාරයෙකුට, මිනීමැරුමක සැකකරුවෙකුට, ජනාධිපතිතුමා මුණගැහිලා ආශිර්වාද ලබාගන්න පුළුවන්ද? ඇත්තටම මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්.

දුමින්ද සිල්වා රෝහලෙන් පිට වෙද්දී ඔහු පිළිගැනීමට විශාල පිරිසක් ඇවිත් හිටියා. ඒකෙන් පේනවා නේදඔහු සමග ජනතාව ඉන්නවා කියලා?

දුමින්ද සිල්වා කරනවා වගේ බිස්නස් කරන අයට කාගෙ හරි රැකවරණයක් අවශ්‍යයි. නායකයෙක් ඕන. එහෙම අයයි ඔය කෑගහගෙන ඇවිත් හිටියෙ. ලක්ෂයකට වැඩි ඡුන්ද ගත්ත කෙනෙක්ට අඩුගානෙ මිනිස්සු දාහක්වත් ගෙන්වා ගන්න පුළුවන් වෙන්න ඕන. එස්.එම්.එස්.ගහලා හරි මේ අය ගෙන්ව ගන්න ඇති. මිනිමැරුමක සැකකරුවෙක් මල් මාලා දාලා, රතිඤ්ඤා පත්තු කරලා පිළිගන්න එක හරිම පිළිකුල් සහගතයි.

මේ ගැන කතා කරපු අය කීවේ මොකක්ද?

මං දන්නවා ලංකාවෙ ඉන්න 99 ක්ම මේක වැරදි බව කියනවා. මාත් එක්ක කතා කරන විවිධ ක්ෂේත‍්‍රවල ඉන්න අය මේ සිදුවීම පිළිකුළෙන් යුතුව හෙළා දැක්කා. මම නිතරම කියනවනේ සත්‍ය කවදාහරි එළිවෙනවා කියලා. සත්‍යයට පිටුපාන්න කාටවත් බෑ. වැරදිකරුවන්ට සොබා දහමෙන් නිසි වෙලාවට නිසි දඬුවම් ලැබේවි. රජයෙන් හරි වෙනත් බලවේගයක් හින්දා හරි බේරිලා ඉන්න පුළුවන් වුණත් සොබා දහමෙන් ඔවුන්ට ගැලවීමක් නැහැ.

අන්තිමට ඔබ හුදෙකලා වුණා නේද?

අවසානයේ ඉතිරි වුණේ මාත්, මගේ අම්මත් විතරයි. මට මගේ තාත්තා නැතිවුණා. අපිට ලැබුණු දෙයක් නැහැ. අපට තියෙන්නේ සත්‍ය විතරයි. එය උදාවෙනකම් බලාගෙන ඉන්නවා.

දුමින්ද සිල්වා ජනාධිපතිතුමා මුණගැසෙන බව කිව්වා. එතුමා මුණගැසීමට ඔබෙත් අදහසක් තියෙනවද?

නැහැ. විධායක බලයට මේ හැමදේම යටත් බව ඒකෙන් පේනවා. බලයට, මුදලට ඕනම දෙයක් අනිත් පැත්ත හරවන්න පුළුවන් සමාජයකයි අපි ඉන්නෙ.

ඔබගේ පියාට සාධාරණයක් කරන්න ජනාධිපතිතුමා කටයුතු කළේ නෑ කියලද ඔබ කියන්නෙ?

දුමින්ද සිල්වව පිළිගෙන ආශිර්වාද කරන්න එතුමා සුදානම් නම් මගේ පියාට සාධාරණයක් කරාවි කියලා කොහොම පිළිගන්නද?

මේ සම්බන්ධව ආණ්ඩුවේ ඇමතිවරු ඔබට කතා කළාද?

ඔව්. රජයේ ගොඩක් මැති ඇමතිවරු කතා කරලා කිව්වෙ දුවේ මේක වැරදි ආදර්ශයක් කියලයි. දුමින්ද ගෙදර යවපු එක පිළිකුල් කරන බවත්, කවදාහරි සත්‍ය ජයගන්න බවත් ඒ අය කිව්වා.

ඒ අයට වුණත් ප‍්‍රායෝගිකව මට උදව් කරන්න විදියක් නැත්තෙ ආණ්ඩුවෙන් එළියට යන්න වේවි කියන බය හින්දයි. ඒ වුණත් ඒ අයගේ වචනයක් වුණත් මාව දිරිමත් කරනවා.

Gossip Lanka Hot News Previous News Archive