අනුරපුරදී මවක සහ දියණියක ඝාතනය කෙරේ

ප්‍රේමය බිඳී ගියෑයි වියරුවෙන්
පෙම්වතා, පෙම්වතිය සහ ඇගේ මව මරා දමයි

අනුරාධපුර පරණ නුවර පාරේ අභයපුර ප්‍රදේශයේ නිවසකට පෙරේදා (28 දා) රාත්‍රි කඩා වැදුණු තිස්‌ හැවිරිදි තරුණයකු විසින් එකම පවුලේ මවක සහ දියණියක කැත්තකින් කපා කොටා ඝාතනය කොට ඇත.

මෙහිදී කැති ප්‍රහාරයට ලක්‌ව මියගිය තරුණියගේ හැට දෙහැවිරිදි පියා බරපතළ කැපුම් තුවාල සහිතව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.මෙම ද්විත්ව ඝාතනය පෙරේදා (28 දා) රාත්‍රි 8.00 ත් 8.30 ත් අතර කාලයේ සිදුකොට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ හැට දෙහැවිරිදි පින්හාමිගේ ශීලා කරුණාරත්න සහ විසිතුන් හැවිරිදි තක්‌ෂිලා දර්ශනමාලි කරුණාරත්න යන දෙදෙනාය.ඝාතනයට ලක්‌වූ තරුණිය මීට මාස දහයක පමණ කාලයක සිට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ අභ්‍යන්තර විගණන ඒකකයේ අනියම් කළමනාකාර සහකාර විගණන නිලධාරිනියක ලෙස සේවය කොට ඇත. ඇය ළඟදීම ස්‌ථිර සේවයෙහි පිහිටුවීමට නියමිතව තිබී ඇත.මෙම සිද්ධියෙන් බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ ලංකා විදුලිබල මණ්‌ඩලයේ විශ්‍රාමික ගබඩා භාරකරුවකු වන පුංචිබංඩාගේ කරුණාරත්න නමැති අයයි. ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රකාශකයෙක්‌  පැවැසීය.ඝාතන සිද්ධියට හේතුව පෙම් හබයක්‌ බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් අනතුරුව පෙරේදා රාත්‍රියේම ඝාතනවලට සම්බන්ධ සැකකාර තරුණයා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අනුරාධපුර පූජා නගරයේ වට වන්දනා පාර ප්‍රදේශයේ පදිංචි අයකු බව පරීක්‌ෂණවලින් හෙළිවී ඇත.

ඔහු කලක්‌ මැලේසියාවේ රැකියාවක නිරතව සිට මීට මාස දෙකකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇති බවත් නැවතත් නුදුරු දිනයක දී දකුණු අප්‍රිකාවේ රැකියාවක්‌ සඳහා යැමට රැකියා නියෝජිත ආයතනයකට මුදල් ගෙවා සිටි බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළි වී තිබේ.

ඝාතනයට ලක්‌වූ තරුණිය සහ ඔහු අතර කලක සිට ප්‍රේම සම්බන්ධතාවක්‌ පැවැති අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් වැඩිහිටි දෙපාර්ශ්වයේ කැමැත්ත මත විවාහ ගිවිස ගැනීමටද තීරණය කොට තිබී ඇත.

එහෙත් කල්ගත වනවිට සිය පෙම්වතාගේ යම් යම් ක්‍රියාකාරකම් හේතුවෙන් ඝාතනයට ලක්‌වූ තරුණිය ඔහුගේ ඇසුරින් ඈත්ව වෙනත් තරුණයකු හා ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වා ගෙන යැම මෙම ඝාතනයට හේතු වී තිබේ.

මේ නිසා කෝපයෙන් සිටි සැකකාර තරුණයා පෙරේදා රාත්‍රියේ සිය පෙම්වතිය ඝාතනය කිරීමට කඩුවක්‌ද රැගෙන ඇගේ නිවසට ගොස්‌ ඇත.

එම අවස්‌ථාවේ තරුණියගේ පියාද කැත්තක්‌ රැගෙන තරුණයා ඉදිරියට ගොස්‌ ඔහුගේ කඩුවට පහර දී ඇති අතර එම පහරින් තරුණයා අත තිබූ කඩුව විසි වී ඔහුට සුළු කැපුම් තුවාලයක්‌ සිදුවී තිබේ.

අනතුරුව සැකකාර තරුණයා තරුණියගේ පියා සමග පොරබදා ඔහු අත තිබූ කැත්ත උදුරාගෙන තරුණියත් ඇගේ දෙමාපියන්වත් කැත්තෙන් කපා කොටා ඇති බව පොලිසිය පවසයි.

"මම කඩුව රැගෙන ගියේ කවුරුත් මරන්න හිතාගෙන නොවේ. ඒ අයව බය කරන්න. ඒ අවස්‌ථාවේ දර්ශනමාලිගේ තාත්තා මට කොටන්න කැත්තක්‌ අරන් ආවා. පසුව මගේ අත තිබූ කඩුවට ඔහු කැත්තෙන් පහර දුන්නා. එවිට කඩුව විසි වුණා. ඉන් පසුව මම දර්ශනමාලිගේ තාත්තා සමග පොර බදා ඔහු අත තිබූ කැත්ත උදුරාගෙන තුන්දෙනාම කපා කොටා එම ස්‌ථානයෙන් පිටවී යන්න ගියා යෑයි ඒ. එම්. සුරංග ජයනාත් අමරසිංහ යන සැකකරු පොලිසියට පාපොච්චාරණය කොට තිබිණි.

සැකකරු මීට පෙර අවස්‌ථා කිහිපයකදීද තරුණිය ඇතුළු පවුලේ අය ඝාතනය කරන බවට තර්ජනය කොට ඇති බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ද්විපුද්ගල ඝාතන පිළිබඳව මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් සිද්ධිය වූ ස්‌ථානයේදී ඊයේ දහවල් පවත්වනු ලැබුවාය. මෙම ඝාතන සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වා ඒ පිළිබඳ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් සැකකරු ලබන 14 වැනි දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මේ අතර ඝාතනයට ලක්‌ වූ මව සහ දියණියගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්‌ෂණයෙන් අනතුරුව ඔවුන්ගේ ළඟම ඥතීන්ට භාරදීමට පියවර ගන්නා ලෙසටද මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය.

මේ පිළිබඳව අනුරාධපුර පොලිස්‌ අධිකාරී මහේෂ් සේනාරත්න, අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරි කැලුම් තිලකරත්න, මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක තිස්‌ස විතානගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ අපරාධ විමර්ශන අංශ නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

*A mother and daughter were stabbed to death in Ambepura, in Anuradhapura last night due to a love dispute, police said.The Father who was injured in the attack was admitted to the Anuradhapura Hospital and is in a critical condition. A suspect had been arrested by the police.


Gossip Lanka Hot News Previous News Archive