මම අම්මා කෙනෙක් වුණෙ අහම්බෙන් නෙවෙයි - Oshadhi Hewamaddumage

මාතෘත්වයේ උත්තරීතරත්වය පිළිබඳ අපිත් සමඟ අදහස් බෙදා ගැනීමට රංගන ශිල්පිනිය වන ඔෟෂධී හේවාමද්දුම එකතු වුණා. ප්‍රදීප් බුලත්සිංහල ඇයගේ ආදරණීය සැමියා. මේ දෙපළගේ හුරතල් පුත් ගෝෂිත සඳකැන් බුලත්සිංහල.

ඔබ මවක් වෙනවා කියලා මුලින්ම දැනගත්තම මොකද හිතුණේ?
හරිම සතුටක්. හරිම ආඩම්බරයක්. ලෝකයේ උතුම්ම පදවිය මවු පදවිය. ඒ දේ ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒ සතුට මට වචනයට පෙරළන්න බැහැ.

මවක් වීම අහම්බයක්ද? නැතිනම් බලාපොරොත්තුවෙන්ද සිටියේ?
මම අම්මා කෙනෙක් වුණෙත් අහම්බෙන් නෙවෙයි. මමයි මහත්තයයි යුරෝපයේ සංචාරයකට ගියා. සංචාරයෙන් පස්සේ ලංකාවට ඇවිත් වෛද්‍ය උපදෙස් මතයි මම අම්මා කෙනෙක් වුණේ.


අම්මා කෙනෙක් වෙන්න ඔබේ තිබුණ සූදානම මොන වගේද?
මුලින්ම වෛද්‍යවරයෙක් මුණගැහිලා ඒ දේ තහවුරු කර ගත්තා. මටත් කලින් මගේ මහත්තයා තමයි සියලුම දේ සැලැසුම් කළේ. ආර්ථිකය, වෘත්තීය වගේ දේවල් මුලින්ම සූදානම් කරගත්තා. බබාට මාස 3ක් වෙනකම් ෂූටින්වලට ගියා. ඊට පස්සේ මම කිසිම වැඩක් භාරගත්තේ නැහැ.

ඔවුන්ට හේතු සපයන්න වුණේ නැද්ද?
මම කිව්වා මේ කාලේ වෙනකම් මම ලංකාවේ නැහැ කියලා.

අම්මා කෙනකුට සැලැසුම් කරගන්න තවත් දේවල් තියෙනවා නේද?
ඔව්. ආහාරපාන, සෞඛ්‍ය පැත්තෙන් පවා හොඳ සූදානමක් තිබුණා. මට වඩා මහත්තයා තමයි ඒ ගැන උනන්දු වුණේ.

ප්‍රාර්ථනා කළේ දුවෙක්ද? පුතෙක්ද?
පුතෙක්. මම ගොඩක් ආසයි පුතෙකුට. මහත්තයත් කිව්වේ මට පුතෙක් ඕනි කියලා පුතෙක්ද, දුවෙක්ද කියලා අපි හම්බවෙනකම් දැනගෙන හිටියේ නැහැ. ඉපදෙන්න කලින් ඉඳන්ම මහත්තයා බබාට කතා කළේ පුතේ, කොල්ලා වැනි වචනවලින්.

ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණාට පස්සේ මොනවද හිතුණේ?
ඒ දේත් මට වචනවලින් කියලා නිම කරන්න බැහැ.

සාමාන්‍ය දරු ප්‍රසූතියක්ද නැත්නම් සැත්කමක්ද?
මම ගොඩක්ම ආසාවෙන් හිටියේ සාමාන්‍ය ප්‍රසූතියකට. මම ඒ සඳහා පෙර සූදානමකින් හිටියේ. හොඳට ඇවිද්දා. ඒ කාලේ කෑමට රුචියක් නැති නිසා ආහාර ගත්තේ අඩුවෙන්. ඒ කාලේ මට හෙම්බිරිස්සාවක් වත් හැදුණේ නැහැ. ඒ තරම් මං පරිස්සම් වුණා. බබා ලැබෙන්න අන්තිම මොහොතේ වෛද්‍යවරයා තීරණය කළා සිසේරියන් සැත්කමකට භාජනය කරන්න.

ඒ වෙලාවේ ඔබට මොනවද හිතුණේ?
වෛද්‍ය උපදෙස්වලට පිටුපාන්න බැහැනේ. අනික බබා ලැබෙන්න නියමිත දිනට පෙර සිසේරියන් සැත්කම කළේ. මම පුතා ලැබෙනකොට හොඳ සිහියෙන් හිටියේ. පුතා අඬන සද්දේ මට හොඳටම ඇහුණා.

නියම කාලයේ දී දරුවෙක් හදන්න පුළුවන් වුණාද?
ඒ හැමදේම මම සැලැසුම් කරලා තිබුණු නිසා මට හිතෙනවා නියම කාලේ දරුවකු ලබන්න පුළුවන් වුණා කියලා. ජේ‍යාතිෂ ප්‍රශ්නයක් නිසා මම විවාහ වුණේ අවුරුදු 22න්. මම හිතාගෙන හිටියේ අවරුදු 30ට කලින් බබෙක් හදන්න. ඉතින් 27 කියන්නේ හොඳම වයස කියලා මට හිතෙනවා.

මාතෘත්වයත් සමඟ සැමියාගේ වෙනසක් දැක්කද?
මම එයාගේ මුහුණෙන් දැක්කේ වෙනදාට වඩා සෑහෙන ලොකු සතුටක්. මටත් වඩා සියලු දේ බලාගත්තේ මහත්තයා.

දැන් අම්මා කෙනෙක් නිසා පෙම්වතියගේ චරිතය භාර නොගැනීමට අදහසක් තියෙනවද?
එහෙම නැහැ. මම පුතාට ලැජ්ජාවක් වෙන දෙයක් කරන්නෑ. මම කොහොමත් ඇඳුමෙන්, පැලඳුමෙන් වුණත් සංවරයි.

රඟපෑම්වලට දායක වෙන්නෙ තව කොච්ර කාලයකින්ද?
බබා වෙනුවෙන් 100%ක්ම කාර්යබහුල වෙන්න බැහැ. මාසයක් ගත්තොත් මාසෙන් භාගයක් වැඩවලට සම්බන්ධ වීමටත් ඉතිරිය දරුවා වෙනුවෙන් ගත කරන්නත් බලාපොරොත්තු වෙනවා.


Gossip Lanka Hot News Previous News Archive