වර්ජනය හෙට - The 21st Strike

'80න් පසු ලොකුම වැඩ වර්ජනය'
1980 ජූලි වර්ජනයට පසු ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව ආරම්භ කරනු ලබන විශාලතම වැඩ වර්ජනය හෙට (21දා) ක්‍රියාත්මක වේ. වැඩ වර්ජනය පවත්වන්නේ වැඩිකළ විදුලි බිල අහෝසි කරන ලෙස රජයට බලකරමිනි.

වැඩිකළ විදුලි බිල අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනවිටත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා තිබීම මේ වැඩ වර්ජනයට ප්‍රධාන හේතු සාධකය වී තිබේ. ආණ්ඩුවේ එම තීරණයට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය සෑම වෘත්තීය ක්‍ෂේත්‍රයක්ම නියෝජනය වන සේ දැවැන්ත අයුරින් මේ වර්ජනය ආරම්භ කිරීමට සූදානම්ව සිටී.

වසර 33ට පසුව මෙරට සියලුම වෘත්තීය ක්‍ෂේත්‍රයන්ගේ වැඩබිම්වල සේවකයන් මෙන්ම රජයේ දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රාශියක් මේ වනවිට විදුලි බිලට එරෙහිව වැඩ වර්ජනයට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග හරහා සහාය ලබාදීමට තම එකඟත්වය පළකර සිටිති.
එම ක්‍ෂේත්‍රයන්වල වෘත්තීය සමිති නායකයන් සමඟ ඇතිකරගත් පොදු එකඟත්වයක් යටතේ ආණ්ඩුව විසින් වැඩකළ විදුලි බිල 20දාට පෙර අහෝසි කිරීමට ක්‍රියා නොකළහොත් 21දාට ආරම්භ කරන සමස්ත වැඩ වර්ජනයක් බවට තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්වත් කළ බවට වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීහු කියති.

විදුලි බිලට එරෙහි හෙට පවත්වන වැඩ වර්ජනය සඳහා රට පුරාම වැඩබිම්වල මෙන්ම ජනතාවගේ ප්‍රබල ප්‍රතිචාරයක් දක්නට ලැබෙන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව පවසයි.වෘත්තීය සමිති මෙන්ම කලාකරුවන්ද විශාල පිරිසක් හට සහාය ලබා දෙන බවටද ලිඛිතව ප්‍රකාශ කොට තිබේ.

බලාතම්පෝ මහතා නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති සියල්ල විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපන, සෞඛ්‍ය, දුම්රිය, වතුකම්කරු, ධීවර, ගොවි, වරාය, ඇඟලුම් ආදී වෘත්තීය රාජ්‍ය පෞද්ගලික වෘත්තීය ක්‍ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ වැඩ වර්ජනයට සහභාගි වන බවටත් ඊට එම පිරිස් මේ වනවිට සූදානම් කර ඇති බවටත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවැසීය.

ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා මහජන පක්ෂ යන දේශපාලන පක්ෂවල වෘත්තීය සමිතිද වර්ජනයට සහභාගි වන බව ලාල් කාන්ත මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ සහාය හා එහි වෘත්තීය සමිති නායකයන්ගේ සහාය මෙන්ම සරත් ෆොන්සේකා මහතා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහායද ඊට හිමිවේ. ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයද මේ වර්ජනය හා විදුලි බිල අහෝසි කිරීමේ අරගලය වෙනුවෙන් කොන්දේසි විරහිතව ලබාදෙන බවට එම පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා සඳහන් කෙළේය.

Gossip Lanka Hot News Previous News Archive