මම මිනීමරුවෙක්! එළියට ආපු දවසට කරන දේ බලාගනිල්ලා

රහස් පොලිස් නිලධාරීන්ට වාස් තර්ජනය කළැයි අධිකරණයට දන්වයි

මට තේරුණා උඹලා මේ වැඩේ කරනවා කියලා, ශානි උඹලට බැහැ මාව හැමදාම ඇතුලේ තියා ගන්න. මම මිනීමරුවෙක්, මම එළියට ආව දවසට බලාගනිල්ලා උඹලට කරන දේ” යැයි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මේ පරීක්‍ෂණය සිදු කරන රහස් පොලිස් නිලධාරීන්ට දැඩි උස් හන් තර්ජනය කළැයි රහස් පොලිසිය ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවකින් ප්‍රකාශ කර තිබේ.

මේ සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් චෝදනා පැහැදිලි කර දී අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පුටුව පසෙකට තල්ලු කර දැඩි උස් ස්වරයෙන් විමර්ශන නිලධාරීන්ට ජීවිත අනතුරක තර්ජන එල්ල කර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වේ.

බෝධිරාජ මාවත, රූපසිංහ මාවත, නැදිමාල, දෙහිවල ලිපිනයේ පදිංචි අන්ද්‍ර වාස් පටබැඳී ගනේන්ද්‍ර ගුණවර්ධන නැමැති බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉකුත් (10) වැනිදා රාත්‍රි 9.45 ට රහස් පොලිසිය අත්අඩංගුවට ගැනිණි.


මේ සිද්ධියට අදාළ මොහොමඩ් අසාබ්දීන් මොහොමඩ් සියාම් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර ඔහුගේ නිරුවත් සිරුර පාළු ප්‍රදේශයක දැමීමේ අපරාධකරුවන්ගේ අරමුණ කුමක්ද? යන්න පිළිබඳව විමර්ශනය කරන බවට ද රහස් පොලිසිය සිය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කොට තිබිණි. සිද්්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේ ඉකුත් 23 දින කොළඹ 6, පදිංචි මොහොමඩ් සවුන්ඩීන් මුෆ්ලික් නැමැත්තා ය.


අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වා ඉකුත් 10 දා එම රථය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි අඩි දෙකක් පමණ දිග තංගුස් ලණු දෙකක්, චීත්ත රෙදි කැබල්ලක් හා කෙස් ගස් දෙකක් සොයාගෙන ඇති බවට රහස් පොලිසිය කරුණු වාර්තා කරමින් සඳහන් කළේ ය.

අදාළ වාහනයේ සවිකර තිබූ පිටුපස බලන කණ්ණාඩියේ තිබූ ඇඟිලි සටහන් හා අත්ල සටහන් දෙකක් සොයාගෙන තිබූ බව සඳහන් කළ රහස් පොලිසිය මේ සටහන් ඇඟිලි සටහන් රෙජිස්ටාර් වාර්තාව කැඳවීමට නියමිත බවට කරුණු වාර්තා විය.

තව ද අදාළ වාහනයේ තිබූ ලේ පැල්ලම් මනුෂ්‍ය ලේ පැල්ලම් දැයි පරීක්‍ෂා කිරීම සඳහා රසපරීක්‍ෂකවරයා වෙත වාර්තා කැඳවීමට නියමිත බවට ද අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ ඝාතන සැලසුමට නියෝජ්‍ය පොලිස්පතිට ලබාදීම සඳහා ලක්‍ෂ 30 ක මුදලක් පොරොන්දු වී ඇති අතර, පසුව එය ලක්‍ෂ 25 දක්වා අඩුකර ලක්‍ෂ 10ක මුදලක් ක්‍රිෂාන්ත නැමැත්තාට ලබා දී නැවත ලක්‍ෂ 4ක මුදලක් ලබාදීමට යාමේදී මොහොමඩ් පවුස්ඩීන් නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්්ධිය සම්බන්ධයෙන් සාක්කිකරුවන් 6 දෙනෙකුගේ සාක්කි සටහන් කර ඇති බවත් සැකකාර පොලිස් නිලධාරීන් ගේ විමර්ශන සිදු කර ඇති තොරතුරු පොත් හා රාජකාරි ලේඛන රහස් පොලිසිය භාරයට ගෙන ඇති බවට කරුණු වාර්තා වේ.

අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනයකින් තොර වාචික නියෝගවලට අනුව බවට ද කරුණු හෙළිවිනැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මෙම සිද්ධිය සඳහා යොදා ගනු ලැබූ wp-pc 4876 දරන කැබ් රථයේ රියදුරු වශයෙන් ක්‍රියා කළ ක්‍රිෂාන්ත නමැත්තාගේ සහයකයෙකු වන නො. 20 ඒ රජමහ විහාර පාර පිටකෝට්ටේ පදිංචි ප්‍රසන්න අනුරාධ එදිරිසිංහ නැමැත්තා අධිකරණයේදී සිය කැමැත්තෙන් කරනු ලැබූ ප්‍රකාශයකට අනුව ඉකුත් 22 වන දින රාත්‍රි 7.00ට පමණ දෙහිවල පිහිටි වාස් ගුණවර්ධන මහතාගේ නිවසට පැමිණි බව ප්‍රකාශ කර ඇත.

පසුව වාස් මහතාගේ නිවස තුළින් පැමිණි ක්‍රිෂාන්ත නුගේගොඩ බලපොකුණ පාරට යෑමට අවශ්‍ය බව පවසා එහි ගිය බවත්, එහි යන විට ක්‍රිෂාන්තගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ලැබී ෆවුස්ඩීන් නමින් කතා කරන බව ඇසුන බව පවසා ඇත.

පසුව ෆවුස්ඩීන් නැමැත්තා ක්‍රිෂාන්ත සුදු පාට කාර් රථයක දමා ගෙන පසුව අතුරුදහන් වූ බව සඳහන් වේ.

අනතුරුව තම කැබ් රථය නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයට පදවාගෙන ගිය බවත් එහිදී ක්‍රිෂාන්ත සමඟ ෆවුස්ඩීන් ගමන්ගත් කාර් රථය පිටුපස සිටි ෂියාම් නමැත්තා කැබ් රථයට කැඳවාගෙන පැමිණ කැබ් රිය තුළට ඔහු තල්ලු කළ බවත් ඔහු සඳහන් කොට ඇත.

ඉන් පසු කැබ් රථයෙන් කඩුවෙල හංදිය පසු කොට බණ්ඩාරවත්ත හංදිය වෙත ගොස් කැබ් රථය නතර කළ විට ඒ තුළ සිටි ෂියාම් පවුස්ඩීන්ට එන්න කියන්න මම දෙන්න තියෙන දේ දෙන්නම් කියා පැවසූ බවට සඳහන් වේ.

එහිදී අනතුරක් වන බව දැනුණ බැවින් තමා නිවසට පැමිණි බවට එදිරිසිංහ තවදුරටත් පොලිසිය හමුවේ පවසා තිබිණ.

ගම්මැද දඩයක්කාරලාගේ ක්‍රිෂාන්ත කෝරළගේ අංක 12, පිටකෝට්ටේ පදිංචි මොහු අධිකරණයට ප්‍රකාශ කර කරුණු අනුව ඔහු චීනයේ සිට මෙරටට නිමි ඇඳුම් ආනයනය කිරීමේ ව්‍යාපාරයක යෙදෙන අයෙකි.

මොහුගේ ව්‍යාපාර කටයුතුවලදී වැල්ලවත්ත පදිංචි ෆවුස්ඩීන් නමැත්තා හඳුනාගෙන ඇත. ඔහු බම්බලපිටියේ පදිංචි මිය ගිය එම්. ෂියාම් නමැත්තා සමඟ දෙහිවල ප්‍රදේශයේ සපත්තු නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බවද ඒ සඳහා ලක්‍ෂ 400 මුදලක් පවුස්ඩීන් යොදවා ඇති බවද එම මුදල මරණකරු වන ෂියාම්ගෙන් ලබාගත යුතුව තිබූ බැවින් ඔහු එය පැහැර හැර ඇත.

එම මුදල ෂියාම්ගෙන් ලබා ගැනීමට යම් ක්‍රියාමාර්ගයක් තිබේද යන්න පිළිබඳව තමාගෙන් පවුස්ඩීන් විමසු විට ඒ පිළිබඳ විසඳුමක් ලබා ගැනීමට ෆවුස්ඩීන්ව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙත යොමු කළ බවට ප්‍රකාශ කර ඇත.

මෙම අවස්ථාවේදී ෆවුස්ඩීන්ට මොහොමඩ් ෂියාම්ගෙන් ලැබිය යුතු මුදල ලබාදීමට කටයුතු කරන්නේ නම් තමාගෙන් (ක්‍රිශාන්ත) ෆවුස්ඩීන්ට ලැබිය යුතු එක්කෝටි අසූපන් ලක්ෂයක මුදලින් ලක්ෂ 100 මුදලක් වාස් ගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙසට ද තමාගෙන් ෆවුස්ඩීන්ට ලැබිය යුතු ඉතිරි ලක්ෂ 85 මුදල අවශ්‍ය නොවන බවද ෆවුස්ඩීන් පැවසූ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙම මුදල් ආරවුල විසඳා දීමට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නිවසේදී හමුවී සාකචඡා කළ බවද පැවසේ.

දිනක් තමා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා හා ඒ මහතා යටතේ සේවය කරන පොලිස් කොස්තාපල් සනත් සමඟ ගොස් මරණකරුගේ නිවස හා ව්‍යාපාරික ස්ථානය පිහිටි ස්ථාන පිළිබඳ සොයා බැලූ බවද පසුව අවස්ථා කිහිපයකදී වාස් ගුණවර්ධන මහතා ඔහු යටතේ සිටින පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු යොදවා එම්. ෂියාම් නමැත්තා පැහැර ගැනීමට උත්සාහ දරා ඇතත් සාර්ථක නොවූ හෙයින් කෙසේ හෝ එම්. ෂියාම් වාස් ගුණවර්ධන මහතා යටතේ ඒකකයේ සේවය කරන පොලිස් නිලධාරීන්ට බාර දෙන ලෙසට තමාට පැවසූ බව සඳහන් වේ.

ඒ අනුව උපක්‍රමශීලීව ගනුදෙනුවක් පිළිබඳ කතා කිරීමට යැයි පවසා ඔහු ඉකුත් 22 නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයට රැගෙන ඒමට ෆවුස්ඩීන්ට පොරොන්දු වූ බව වැඩිදුරටත් සඳහන් වේ.

මඳ වේලාවකට පසු කැළුම් නමැති අය තමාගේ ජංගම දුරකථනයට කතා කොට ක්‍රිශාන්ත මහත්තයා අපි ෂියාම්ව ඉවරයක් කරනවා. මේ ගැන කාටවත් කියන්න එපා. හෙට උදේ වාස් මහත්තයාගේ ගෙදරට ඇවිත් වෑන් එක අරගෙන යන්න කියා පැවසූ බව ප්‍රකාශයේ සඳහන් වේ.

ඉන් පසුදින උදේ වාස් මහතාගේ නිවසට ගොස් ඇයි ෂියාම්ට මෙහෙම කළේ විමසූ විට ඒක මගේ වැඩක්, උඹට ඒකට ප්‍රශ්නයක් නැහැ. මම නේ කළේ, උඹ කට පියාගෙන හිටාන්,” බවට පැවසූ බවත් ඒ අවස්ථාවේදී ගේට්ටුව ඇරී සංජීව නමැත්තාගෙන් ෂියාම් කෝ යනුවෙන් ඇසූ විට ෂියාම් මරලා ඉවර කළා යැයි පැවසූ බවට ඔහුගේ කටඋත්තරයේ වැඩිදුරටත් දැක්වේ.

කොළඹ 6 පදිංචි එම්. ෆවුස්ඩීන් මුතාලික් නැමැත්තා ප්‍රකාශ කරන්නේ සපත්තු නිෂ්පාදන ව්‍යාපාරිකයෙකු වන අතර මරණකරු සමීපව ඇසුරු කරන්නෙකි.

මොහු ෂියාම් ගේ ව්‍යාපාරයට විශාල මුදලක් ආයෝජනය කළ බවත් ඔහු එම මුදල් නැවත ලබාදීම පැහැර හැරීම නිසා මොහු ෂියාම් සමඟ වෛරව සිට ඇත.

කෙසේ හෝ මෙම මුදල් නැවත ලබාගැනීම ක්‍රිශාන්තට පවරා ඇත. ක්‍රිශාන්ත නමැත්තා මොහුව වාස් වෙත යොමු කොට තිබිණ.

මෙහිදී වාස් ගුණවර්ධන මහතා වෙත ලක්ෂ 5ක මුදලක් ලබා දුන් බව ඔහු වැඩිදුරටත් පවසා තිබිණ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මිය ගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පවත්වලා ඉවරද? යනුවෙන් රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පැවසුවේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන බවයි.

මෙහිදී වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා පැවසුවේ මේ සැකකරු සම්බන්ධයෙන් රහස් පොලිසිය නීත්‍යානුකූල ලෙස සිය කාර්ය පටිපාටිය සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධව ඉදිරියේ දී අධිකරණයට කරුණු දැක්වීමට සූදානම් බවත් ය.

ඊට අමතරව සැකකරු සිය රාජකාරි ජීවිතයේ අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බැවින් රක්‍ෂිත බන්ධනාගාර ගත කළහොත් ඔහුගේ ජිවිතයට අනතුරක් සිදු විය හැකි බවට කරුණු දැක්වූ නීතිඥවරයා සැකකරු දිගටම රෝහල් ගත කර රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ නලින් ද ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙවතාවක්ම සිය දිවි හානි කර ගැනීමට තැත් කළ අයෙක් බැවින් ඔහු දැඩි ආරක්‍ෂාව මත රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

අදාළ කරුණු සැලකූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ රෝගී තත්ත්වය ද සලකා බලමින් ඔහු මේ මස 25 වන දින තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරමින් දිගටම ජාතික රෝහලේ බන්ධනාගාර විශේෂ ආරක්ෂාව යටතේ රඳවා තැබීමට නියම කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්‍ෂක බමුණුසිංහආරච්චි ලක්මිණි ඉන්දික බමුණුසිංහ (හොරණ), (51799) පොලිස් කොස්තාපල් ආන්ද්‍රාගේ සහන් චන්ද්‍ර, පොලිස් කොස්තාපල් (68656) ආනන්ත පතිරණගේ පි‍්‍රයන්ත සංජීව, පොලිස් කොස්තාපල් (61816) දිසානායක මුදියන්සේලාගේ කැලුම් රංගන දිසානායක යන අය දැනට 1979 අංක 49 ත්‍රස්තවාදී පනතේ 6 (1) ප්‍රකාරව ලබා ගත් නියෝග අනුව රහස් පොලිසියේ රඳවා විමර්ශන පවත්වන බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive