මහ බැංකුව, විනිමය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි - Further Relaxation of Foreign Exchange Regulations 2013

ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිමය පාලන රෙගුලාසි තවදුරටත් ලිහිල් කර ඇත.
ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පදනම වැඩිදියුණු වී ඇති අතර, දේශීය මූල්‍ය අංශය වඩාත් ශක්‌තිමත් වී ඇත. එම පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යැමේදී ඉහළ කාර්යක්‍ෂමතාවක්‌ ළඟා කර ගැනීම සහ ව්‍යාපාර කටයුතු පහසු කිරීම හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට පහසුකම් සැලසීම මගින් සමස්‌ත ආර්ථිකයේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම යනාදී අරමුණු පෙරදැරි කරගෙන, විදේශ විනිමය රෙගුලාසි අනුක්‍රමයෙන් ලිහිල් කරන ලදී.ඉහත සඳහන් කරන ලද ප්‍රතිපත්තිමය රාමුව තුළ පිහිටා කටයුතු කිරීම සඳහා ජුනි 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පහත පරිදිවේ.
  •  අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC)රැ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වල පවතින මුදල් එක්‌ බැංකුවකින් වෙනත් බැංකුවකට මාරුකිරීම සඳහා අනුමැතිය ලබාදීම.

බලයලත් වෙළෙන්දකු සමඟ පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල පවත්නා මුදල් භාවිත කර වෙනත් බලයලත් වෙළෙන්දෙකු සමඟ නව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් විවෘත කිරීමට බලාපොරොත්තුවන්නන් ඒ සඳහා විනිමය පාලකගේ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් හට ඉහළ නම්‍යශීලීභාවයක්‌ ලබාදීම සඳහා වෙනත් බලයලත් වෙළෙන්දකු සමඟ පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක/ගිණුම්වල පවත්නා මුදල් භාවිත කර නව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක්‌/ගිණුම් විවෘත කිරීමට පුද්ගලයන්ට දැන් අවසර ලබා දී ඇත.


  •  විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම් හිමියන් සඳහා විදේශ ව්‍යවහාර මුදලින් ණය ලබාදීම.

වර්තමානයේදී විදේශ ව්‍යවහාර මුදලින් ණය ලබාදෙනු ලබන්නේ අපනයනකරුවන් සහ වක්‍ර අපනයනකරුවන් වැනි විදේශ විනිමය උපයන්නන් සඳහා පමණි. මින් ඉදිරියට ඕනෑම විදේශ විනිමය උපයන්නන්ගේ ගිණුම් හිමියෙකුට විදේශ ව්‍යවහාර මුදලින් ණය ලබාදීමට බැංකුවලට අවසර ලබා දී ඇත.

  •  අනේවාසිකයන්ට අයත් නේවාසික දේපළ විකිණීමෙන් ලැබෙන ප්‍රාග්ධන ලාබ නැවත රැගෙන යැම සඳහා අවසර ලබාදීම.

නිශ්චල දේපළවල සිදු කරන ආයෝජනයන් දිරිමත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාපටිපාටියක්‌ ලෙස අනේවාසිකයන් විසින් අන්තර්ජාතික බැංකු ජාලයන් හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන ලද මුදල් වලින් මිලදී ගත් හෝ සංවර්ධනය කරන ලද නිශ්චල දේපළ විකිණීමෙන් ලැබෙන මුල් මුදල සහ ප්‍රාග්ධන ලාභය යන දෙකම නැවත රැගෙන යැම සඳහා අනේවාසිකයන්ට අවසර ලබා දී ඇත.
  •  වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සංක්‍රමණිකයන්ට සංක්‍රමණ දීමනාව ලබාදීම.

සංක්‍රමණ දීමනාව ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ පවතින විධානය තනි පුද්ගලයන් සඳහා නොව පවුල් ඒකක සඳහා වෙයි. මින් ඉදිරියට එය තනි පුද්ගලයන් සඳහා අදාළ වන පරිදි සංශෝධනය කෙරෙයි. එම නිසා, වයස අවුරුදු 18 සහ ඊට වැඩි සංක්‍රමණිකයකු සංක්‍රමණය කරන අවස්‌ථාවේදී උපරිමය ඇමරිකන් එක්‌සත් ජනපද ඩොලර් 150,000 ක්‌ වන සංක්‍රමණ දීමනාවක්‌ සඳහා සහ ඉන්පසු ඇ.එ.ජ. ඩොලර් 20,000 ක වාර්ෂික දීමනාවක්‌ සඳහා සුදුසුකම් ලබයි. තවද ඉහත දීමනාවන්ට අමතරව ජංගම ගනුදෙනුවලින් ලැබෙන මුදල්, අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික අරමුදල් පූර්ව අනුමැතියකින් තොරව රැගෙන යා හැකිය. එවැනි අරමුදල් ප්‍රතිමුඛ ප්‍රේෂණ කිරීමේ අරමුණ සඳහා එක්‌ එක්‌ සංක්‍රමණිකයාගේ නමින් අනේවාසික ගිණුමක්‌ විවෘත කළ යුතුය.

  •  නොස්‌ට්‍රො ගිණුම් විවෘත කිරීම, පවත්වාගෙන යැම සහ එම ගිණුම්වල ශේෂයන් විදේශයන්හි ආයෝජනය කිරීම සඳහා අවසර ලබාදීම.

බලයලත් වෙළෙඳුන් විසින් අනිකුත් රටවල්වල සිදු කරනු ලබන විදේශ විනිමය ගනුදෙනු කාර්යක්‍ෂමව පියවීම සඳහා ගනු ලබන ක්‍රියාපටිපාටියක්‌ ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විවිධ මුදල් වර්ගවලින් නොස්‌ට්‍රො ගිණුම් විවෘත කිරීම, පවත්වාගෙන යැම සහ එම ගිණුම්වල පවතින ශේෂයන් විදේශ මුදල් වෙළෙඳපොළවල්වල ආයෝජනය කිරීම සඳහා අවසර ලබා දී ඇත.

  •  විදේශ සංචාර සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් නෝට්‌ටු ප්‍රමාණය ඉහළ දැමීම.

බලයලත් වෙළෙඳුන් විදේශ සංචාර සඳහා නිකුත් කළහැකි විදේශ විනිමය ප්‍රමාණයෙහි කොටසක්‌ ලෙස නිකුත් කළහැකි විදේශ මුදල් නෝට්‌ටු ප්‍රමාණය ඇමරිකානු එක්‌සත් ජනපද ඩොලර් 2,500 සිට ඇ.එ.ඩො. 5,000 දක්‌වා ඉහළ දමා ඇත.

  •  බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා විදේශ මුදල් තැන්පතු ලබා ගැනීමට අවශ්‍ය අවසරය ලබාදෙන නිර්ණායකයන් හඳුන්වාදීම.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නම් කළ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්‌ විසින් (A-) හෝ ඊට ඉහළ ශ්‍රේණිගත කිරීමක්‌ ලබා දී ඇති බලපත්‍රලාභී මූල්‍ය ආයතන සඳහා ඔවුන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විදේශ මුදල් තැන්පතු ගිණුම් විවෘත කිරීමට සහ පවත්වාගෙන යැමට අදාළ ආයතනයන්හි ඉල්ලීම මත අවසර ලබා දෙනු ඇත. එනමුත් එසේ ලබා ගන්නා මුළු තැන්පතු ප්‍රමාණය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණය කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස්‌ මාලාවන්ට යටත් වනු ඇත.

  • කොටස්‌ ආයෝජන බාහිර රුපියල් ගිණුම් හඳුන්වාදීමට පෙර කරන ලද විදේශීය ආයෝජන රැගෙන යැමට අවසර ලබාදීම.

1990 දී කොටස්‌ ආයෝජන බාහිර රුපියල් ගිණුම් හඳුන්වාදීමට පෙර කොටස්‌ සහ ව්‍යාපාරවල කරන ලද ආයෝජනයන්ට අදාළ ලාභාංශ සහ විකිණීමෙන් හෝ කල් පිරීමෙන් උත්පාදනය වන මුදල් රැගෙන යැමට සිදු කරන ඉල්ලීම් සළකා බලා අවසර ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව නව ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය කර ඇත.

  •  ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් විසින් විදේශීය රටවල බැංකු ගිණුම් විවෘත කිරීම සහ පවත්වාගෙන යැම.

ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන් හෝ විදේශීය රජයන් විසින් නිකුත් කළ ස්‌ථිර නේවාසික අවසර පත්‍ර දරණ පුද්ගලයන් හට විනිමය පාලන දෙපාර්තමේන්තුවේ පූර්ව අවසරයකින් තොරව විදේශීය රටවල බැංකු ගිණුම් පවත්වාගෙන යැමට අවසර ලබා දී ඇත.

  •  සුරැකුම්පත් ආයෝජන ගිණුම සඳහා වූ සංශෝධන

ශ්‍රී ලංකාවට ලැබෙන ආයෝජනයන් සඳහා වූ ආමුඛ ප්‍රේෂණ පහසු කිරීමේ ක්‍රියාමාර්ගයක්‌ වශයෙන්, සුරැකුම්පත් ආයෝජන ගිණුම් හිමියන් හට එම ගිණුමට මුදල් ප්‍රේෂණය කිරීමට සහ එකී ගිණුමෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණය කිරීමට වඩාත් නම්‍ය වූ ප්‍රවේශයන් ලබාදෙයි. මෙයට, විදේශීය ආයතනික අයෝජකයන් සඳහා වන ආමුඛ ප්‍රේෂණ, නොස්‌ට්‍රො ගිණුම් හරහා, වොස්‌ට්‍රො ගිණුම් හෝ සුරැකුම්පත් ආයෝජන ගිණුම් වෙත ලබා ගැනීම ද ඇතුළත් වෙයි.

ඉහත සඳහන් ක්‍රියාමාර්ග හා සම්බන්ධිත විධානයන් බලයලත් වෙළෙන්දන් වෙත 2013.06.12 වැනි දින නිකුත් කර ඇතැයිද මහ බැංකුව කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Gossip Lanka Hot News Previous News Archive