බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන දැඩි අවධානය

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබෙන බව රජය අවධාරණය කරයි.
එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බවද යම් අවදානම් තත්ත්වයක් පැන නඟින්නේ නම් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යාංශ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ අතිරේක ලේකම් රොඩ්නි පෙරේරා මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට කොටි හිතවාදීන්ගෙන් විවිධ තරජන පවතින අතර ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශයට, එරට පොලීසිය ඇතුළු බලධාරීන් වෙත මේ වනවිටත් දැනුම්දී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.මෙලෙස කිසියම් ගැටලුවක් පවතින්නේ නම්, ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් වහාම ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන ලෙස බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන රොඩ්නි පෙරේරා මහතා එවැනි දැනුම්දීමක් කරන්නේ නම් කිසිඳු පැකිළීමකින් තොරව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කළේය.
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය නිරන්තර සූදානමින් සිටින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟ දෙක අතරතුර එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකළ බාධා කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

Gossip Lanka Hot News Previous News Archive