ඉන්දියාවට චැම්පියන්ස් ක්‍රිකට් කුසලානය - India beat England to win ICC Champions Trophy 2013

ඉන්දියාව ඔවුන්ගේ සුපිරි පන්දු ප්‍රහාරයෙන් එංගලන්තය ලකුණු පහකින් පරදවමින් චැම්පියන්ස් කුසලානය ඊයේ දිනා ගත්තේය. ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ලකුණු 124කට දැවී ගියේය. පිට දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 15කට කඩුලු 2ක් ලබා ගත් අතර රවින්ද්‍ර ජඩේජා හා ඉෂාන්ට් ෂර්මා ද කඩුලු 2 බැගින් ලබා ගත්හ.

වර්ෂාවෙන් දිගින් දිගටම බාධා පැමිණීම හේතුවෙන් බර්මිංහැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගය පිලකට ඕවර 20 බැගින් සීමා වූ අතර කඩුලු 7කට ලකුණු 129ක ඉන්දියා ඉනිම හඹා ගිය එංගලන්තයට අවසානයේ ලබා ගත හැකිවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 124ක් පමණි.

එංගලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 3දී බිඳ වැටිනි. දෙවැනි ඕවරයේදී නායක ඇලස්ටෙයාර් කුක් ලකුණු 2කට දවාලීමට උමේෂ් යාදව් සමත් විය. ‘ස්ලිප්’හි සිට අපූරුවට උඩ පන්දුව රැක ගත්තේ රවිචන්ද්‍රන් අශ්වින් ය. කුක් මුහුණ දුන්නේ පන්දු 9කට පමණි. මුළු ලකුණු 46දී ඉන්දියාවට සිවුවැනි කඩුල්ල ලබා දුන්නේද කඩුලු රකින දෝනි ය.
මෙවර ඔහුගේ ‘ස්ටම්ප්’ කිරීමට හසුවූයේ ඉයන් බෙල් ය. පන්දු යවන්නා වූයේ රවින්ද්‍ර ජඩේජා ය. පන්දු 16කට මුහුණ දුන් බෙල් හතරේ පහරක් සමග ලකුණු 13ක් ලබා ගත්තේය. එංගලන්ත ඉනිමේ හරි අඩක් නිමා වෙද්දී ඔවුන්ගේ කඩුලු 4ක් ලකුණු 46කට බිඳ වැටී තිබිණි. ඉන්දියාව ඔවුන්ගේ ඉනිමේ මේ අවස්ථාව වන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 59ක් රැස්කර ගෙන සිටියේය. ඔයින් මෝගන් හා රවි බොපාරාගේ පිතිකරණය ආධාරයෙන් එංගලන්තය 15 වැනි ඕවරය අවසන් වන විට මුළු ලකුණු 82ක් රැස්කර ගෙන තරගයේ පෙරමුණට පිවිස සිටියේය. ඉන්දියාව ඔවුන්ගේ ඕවර 15 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගෙන සිටියේ ලකුණු 79කි.

මෝගන් හා බොපාරා ඕවර 8.5ක් පිටියේ රැඳී සිටිමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී ඉෂාන්ට් ෂර්මා යැවූ 18 වැනි ඕවරයේදී දෙදෙනාම මුළු ලකුණු 110දී පිට පිට දැවී ගියහ. මේ පිතිකරුවන් දෙදෙනාගේම උඩ පන්දු ‘ස්කුවෙයාර් ලෙග්’හි සිට රැක ගත්තේ අශ්වින් ය. හතරේ පහර 3ක් හා හයේ පහරක් එල්ල කරමින් පන්දු 30කින් ලකුණු 33ක් ලබා ගෙන සිටි මෝගන් පළමුව දැවී ගිය අතර හයේ පහර 2ක් සමග පන්දු 25කින් ලකුණු 30ක් රැස්කර ගෙන සිටි බොපාරා දෙවැනුව දැවී ගියේය.

එංගලන්ත පරාජය තහවුරු කෙරෙමින් ඊළඟ ඕවරයේදී කඩුලු දෙකක් බිඳ වැටිනි. ජොස් බට්ලර් (0), ජඩේජාගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් දැවී ගියේය. ටිම් බ්‍රෙස්නන් (2) දුවද්දී දැවී ගියේය. එංගලන්තය කඩුලු 8 ට ලකුණු 113 යි. අවසාන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් ඕවරයට මුහුණ දුන් ස්ටුවර්ට් බ්‍රෝඩ් හා ජේම්ස් ට්‍රෙඩ්වෙල් නොදැවී පිළිවෙලින් ලකුණු 7ක් හා 5ක් ලබා ගෙන සිටියදී ලකුණු 124කට එංගලන්ත ඉනිම අවසන් විය.

වලාකුළින් වැසී ගිය අහස යට කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඔවුන් කණ්ඩායමේ එක් වෙනසක් සිදු කරමින් ස්ටීවන් ෆින් වෙනුවට ටිම් බ්‍රෙස්නන් කැඳවා තිබිණි. ඉන්දියාව මේ තරගාවලියේ තරග හතරම ජය ගත් කණ්ඩායම ම නම් කර තිබිණි. නියමිත පරිදි පෙරවරු 10.00 ට කාසියේ වාසිය උරගා බැලුවද වර්ෂාව නිසා ක්‍රීඩකයන් සිටියේ ක්‍රීඩාගාරයේය.

පෙරවරු 11.30 ට පිටිය පරික්ෂා කිරීමෙන් පසුව තරග විනිසුරුවන් යළි පිටියට ආවේ පස්වරු 2.25 ට පමණය. ඒ, මඳ හිරුඑළියක් දක්නට ලැබුනු අවස්ථාවේදීය. තරගය විස්සයි20 එකක් ලෙස පස්වරු 4.20 ට ආරම්භ කිරීමට පස්වරු 3.50 ට තීරණය කෙරිණි. සිවුවැනි ඕවරයේදී ඉන්දියා පළමු කඩුල්ල බිඳ දැමීමට ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් විය. පන්දු 14කට මුහුණ දුන් රෝහිත් ෂර්මා හතරේ පහරක් සමග ලකුණු 9ක් ලබා ගෙන දැවී ගියේය. පළමු කඩුල්ල බිඳ වැටෙන විට මුළු ලකුණු ප්‍රමාණය 19ක් විය.
ඕවර හයයි පන්දු දෙකක් අවසානයේ ඉන්දියාව ලකුණු 38ක් රැස්කර ගෙන තිබියදී යළි වර්ෂාව ඇදහැලිනි. පස්වරු 4.52 යි. පස්වරු 5.40 ට යළි තරගය ආරම්භ විය. ඉන්දියාව පන්දු 49කින් ලකුණු 50 වාර්තා කිරීමෙන් පසුව දෙවැනි කඩුල්ල බිඳ වැටෙමින් ෂිඛර් ධවාන් දැවී ගියේය. හතරේ පහර 2ක් හා දර්ශනීය හයේ පහරක් එල්ල කළ ධවන් පන්දු 24කින් ලකුණු 31ක් ලබා ගෙන සිටියදී රවි බොපාරාගේ පන්දුවට ‘එක්ස්ට්‍රා කවර්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ජේම්ස් ට්‍රෙඩ්වෙල් වෙත උඩ පන්දුක් ලබා දෙමින් ධවන් දැවී ගිය අතර එය බොපාරාගේ මේ තරගයේ දෙවැනි පන්දුව විය.

13 වැනි ඕවරය අවසානයේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ වටිනා කඩුල්ල කිසිම ලකුණකින් තොරව ලබා ගැනීමට හැකිවීම එංගලන්තයට විශාල ජයග්‍රහණයක් විය. දෝනි බින්දුවට දැවී ගියේ ‘තර්ඩ් මෑන්’හි ට්‍රෙඩ්වෙල් අතට උඩ පන්දුවක් ලබා දෙමිණි. එම කඩුල්ල ලබා ගත්තේද බොපාරා ය. ඉන්දියාව කඩුලු 5 ට ලකුණු 66 යි. කෝලි හා ජඩේජා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33කින් ලකුණු 47ක් එක් කරමින් සිටියදී 19 වැනි ඕවරයේදී කෝලි දැවී ගියේය. හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළ ඔහු පන්දු 34කින් ලකුණු 43ක් ලබා ගත්තේය.

ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවට ‘ලෝන්ග් ඕෆ්’ ස්ථානයේ බොපාරා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් කෝලි දැවී යන විට මුළු ලකුණු ප්‍රමාණය 113ක් විය. 18 වැනි ඕවරයේ කෝලි ලකුණු 36ක් රැස්කර ගෙන සිටියදී දැවී යාමෙන් බේරිණි. ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවට කෝලි දුන් උඩ පන්දුව රැක ගැනීමට ‘ෂෝට් තර්ඩ් මෑන්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ජොනතන් ට්‍රොට් අසමත් විය. අවසාන ඕවරයේ මුළු ලකුණු ප්‍රමාණය 119ක්ව තිබියදී රවිචන්ද්‍රන් අශ්වින් (1) දුවද්දී දැවී ගියේය.

කඩුලු 7 යි ලකුණු 129කට ඉන්දියා ඉනිම අවසන් වන විට රවින්ද්‍ර ජඩේජා පන්දු 25කින් නොදැවී ලකුණු 33ක් ලබා ගෙන සිටි අතර හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබිණි. එංගලන්තය වෙනුවෙන් වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වූ බොපාරා ලකුණු 20කට කඩුලු 3ක් ලබා ගත් අතර ඔහුට සීමිත ඕවර හතරෙන් එකක් නොඉඳුල් වී තිබිණි.










Gossip Lanka Hot News Previous News Archive