වටිනාකම අඩුවෙන් පෙන්වා ගේන පරණ වාහන වලට වැට

මෙහෙම ගියොත් අපේ කර්මාන්තය ඉවරයි - ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමය

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන බදු හමුවේ අළුත්ම වාහන ආනයනය විශාල ලෙස අඩුවී තිබෙන බවත් අසාධාරණ ලෙස රේගුවට වටිනාකම අඩුවෙන් පෙන්වා ආනයනය කරන පාවිච්චි කළ වාහන කොටුකර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට බළධාරීන් සමග කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.

ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති තිලක් ගුණසේකර “විමසුම“ ට පැවසුවේ වටිනාකම අඩුවෙන් පෙන්වා මෙරටට ආනයනය කරන පාවිච්චි කළ වාහන ප්‍රමාණය මේ වනවිට වැඩි වෙමින් තිබෙන බවයි.

“මේ නිසා, නිසි බදු ගෙවමින් අපි සිදුකරන කර්මාන්තය කරගෙන යාමට බැරි තත්ත්වයකට පත්ව තිබෙනවා. අනිත් අතට මේ නිසා රජයට විශාල බදු ප්‍රමාණයක් අහිමි වෙනවා. අපි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කළා වටිනාකම අඩුවෙන් පෙන්වා මෙරටට ආනයනය කරන පාවිච්චි කළ වාහන වලින් නියම බදු ප්‍රමාණය අයකර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියල. ඔහු ඒ සඳහා අපි සමග සාකච්ඡා කිරීමට එකඟ වුණා.“


ගුණසේකර මහතා පැවසුවේ සිය සංගමයේ ලියාපදිංචි වූ අළුත්ම වාහන මෙරටට ආනයනය කරන සමාගම් 26 ක් මෙරට ක්‍රියාත්මක වන බවත් ඒවාය් ලක්ෂ දෙකක පමණ සේවක පිරිසක් සෘජු හා වක්‍ර මාර්ගයෙන් රැකියා කරන බවයි.


“එක පැත්තකින් බදු වැඩි කිරීම නිසා වාහන විකිණීම විශාල ලෙස අඩුවෙලා. ඒ වගේම නීතියට පටහැනිව වටිනාකම අඩුවෙන් පෙන්වා පාවිච්චි කළ වාහන ගෙන්වීම වැඩිවෙලා. අපේ කර්මාන්තයට මේ නිසා අත්වෙලා තිබෙන්නේ ඉතාමත් ඛේදජනක ඉරණමක්. මෙහෙම ගියොත් අපේ සමාගම් වහල දාන්න සිදුවේවි.“

යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive