ඉන්දු-ශ්‍රී ලංකා-කොදෙව් තුන්කොන් ගැටුම අද ඇරැඹේ - Tri-Nation Series in West Indies

බටහිර ඉන්දීය කොදව් දේශයේ පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම අතර තරගයෙන් අද (28 දා) ජැමෙයිකාවේ සබීනා පාක්‌හිදී ආරම්භ වේ. දිවා තරගයක්‌ ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8 ට ආරම්භ වේ.

ලෝක ශූර ඉන්දීය කණ්‌ඩායම, අනුශූර ශ්‍රී ලංකාව සහ විස්‌සයි - 20 ශූර බටහිර ඉන්දීය කොදෙව් යන කණ්‌ඩායම් මෙම තරගාවලියේදී තරග වැදීම තරගාවලිය ඉතාමත් තියුණු තරගාවලියක්‌ වනු ඇත.

චැම්පියන් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරග වටය දක්‌වා පැමිණි අතර එහිදී ශූරතාව දිනූ ඉන්දීය කණ්‌ඩායම හමුවේ පරාජයට පත්විය. කොදෙව් කණ්‌ඩායම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවුණු කණ්‌ඩායම් 4 ට එක්‌ වුවත් එම තරගවලදී ඔවුන් දැක්‌වූ තරග විලාශය අනුව කිසි විටෙකවත් ඔවුන්ව අවතක්‌සේරු කළ නොහැක. අදාළ තරගාවලියේදී දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයට වර්ෂාව හරස්‌ නොවූයේ නම් එම තරගය ජය ගනිමින් නිසැකයෙන්ම දෙවැනි වටයට අවතීර්ණ වීමේ අවස්‌ථාව කොදෙව් කණ්‌ඩායම සතුව තිබිණ.


චැම්පියන් කුසලාන තරගාවලියට සහභාගිවූ කණ්‌ඩායම් දෙකෙහි සුලූ වෙනස්‌ කම් කීපයක්‌ කරමින් මෙම තරගාවලියට දෙපිළම අවතීර්ණ වනු ඇත. එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ටී. එම්.ඩිල්ෂාන් ආබාධ්‍යක්‌ හේතුවෙන් කණ්‌ඩායමෙන් ඉවත් වී සිටින අතර ඔහු වෙනුවට කණ්‌ඩායමට උපුල් තරංගව කැඳවා තිබේ. ඔහුට අමතරව විශ්මිත දග පන්දු යවන්නා ලෙස සැලකෙන අජන්ත මෙන්ඩිස්‌ද සංචිතයට එක්‌වී සිටියි. ප්‍රතිවාදී කොදෙව් කණ්‌ඩායමේ රම්නරේෂ් සර්වාන් සහ ෙæසන් හෝල්ඩර් හැර සෙසු සාමාජිකයන් 13 දෙනාම ශූරයන්ගේ කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද අය වූහ.

කොදෙව් දේශයේ ක්‍රීඩා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පිලට එතරම් අත්දැකීම් නැති වුවත්, ඉකුත් 2007 වසරේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී අවසන් මහ තරගයට වරම් ලැබීමට සමත්වීම ශ්‍රී ලංකාව සහ කොදෙව් දේශය අතර තිබෙන විශාලම බැඳීම ලෙස සඳහන් කළ හැක. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම බහුතරයක්‌ තරග වලදී දග පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදවා ගනිමින් තරග වැදීම මත සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්වූ අතර එය මෙවර තරගාවලියේදීද ඒ අයුරින්ම පවත්වා ගෙන යැම අරමුණ බව ශ්‍රී ලංකා සංචිතය නිරීක්‍ෂණය කිරීමේදී දැක ගත හැක. එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට ප්‍රධාන පෙළේ දග පන්දු යවන්නන් වන රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්‌ සහ සචිත්‍ර සේනානායක තිදෙනාම ඇතුළත් වීමෙන් එය තවත් තීව්‍ර කරයි.

ඩිල්ෂාන් නොමැති වීම මත ශ්‍රී ලංකා පිලේ පිතිකරු බළ ඇණියේ වැඩි වගකීමක්‌ කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන දෙදෙනා වෙත පැවරෙන අතර කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ලබන උපුල් තරංගට මෙන්ම කුසල් පෙරේරාට සිය ස්‌ථාන තහවුරු කර ගැනීම සඳහා මෙම තරගාවලිය වැදගත් වනු ඇත. මෙම තරගාවලිය පිළිබඳව අදහස්‌ දක්‌වා ඇතිs බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ නායක ඩ්වයින් බ්‍රාවෝ, 'මව් බිමේදී ක්‍රීඩා කිරීම යනු ඉතාම හොඳ දෙයක්‌. ජැමෙයිකාවේ පැවැති තරගවලදී අපේ ඉතිහාසය ඉතා හොඳයි. ශ්‍රී ලංකාව සමග තරගය ජය ගනිමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක්‌ ගැනීම අත්‍යවශ්‍ය දෙයක්‌. අපේ ඉලක්‌කය වන්නේ කෙසේ හෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමයි. නමුත් එය ලේසියන් කළ නොහැකියි' යනුවෙන් පවසා තිබේ.

මෙම තරගාවලියේදී පළමු වටයේදී සෑම කණ්‌ඩායමකටම තරග 4 කට බැගින් ක්‍රීඩා කිරීමේ වරම් හිමිවන අතර එහිදී වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක්‌ හිමිකරගනු ලබන කණ්‌ඩායම් අවසන් මහ තරග වරම් ලබනු ඇත. මෙම තරග පළමු තරග 3 ජැමෙයිකාවේ සබීනා පාක්‌හිදී ද දෙවැනි වටයේ තරග සහ අවසන් මහ තරගය ටි්‍රනිඩෑඩ්හි ක්‌වීන්ස්‌ පාක්‌ ඕවල් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායම/ ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), කුසල් පෙරේරා, උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, ළහිරු තිරිමාන්න, මහේල ජයවර්ධන, ïවන් මෙන්ඩිස්‌, අජන්ත මෙන්ඩිස්‌. දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සචිත්‍ර සේනානායක, රංගන හේරත්, දිල්හාර ලොකුහෙට්‌ටිගේ සහ ශමින්ද එරංග.

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම/ ඩ්වයින් බ්‍රාවෝ (නායක), ටිනෝ බෙස්‌ට්‌, ඩැරන් බ්‍රාවෝ, ජොන්සන් චාර්ලස්‌, ක්‍රිස්‌ ගේල්, සුනිල් නරේන්, කිරන් පොලාර්ඩ්, දිනේෂ් රාම්ඩීන්, රවී රාම්පෝල්, කෙමාර් රෝච්, ඩැරන් සමී, මාලන් සැමුවෙල්ස්‌, ඩෙවෝන්.


තරග කාල සටහන

දිනය           තරගය                ස්ථානය
ජුනි 28  කොදෙව් - ශ්‍රී ලංකාව  ජැමෙයිකා
ජුලි 30  කොදෙව්-ඉන්දියාව   ජැමෙයිකා
ජුලි 02  ඉන්දියාව-ශ්‍රී ලංකාව  ජැමෙයිකා
ජුලි 05  කොදෙව්-ඉන්දියාව   ට්‍රිනිඩෑඩ්
ජුලි 07  කොදෙව්-ශ්‍රී ලංකාව  ට්‍රිනිඩෑඩ්
ජුලි 09  ඉන්දියාව-ශ්‍රී ලංකාව  ට්‍රිනිඩෑඩ්
ජුලි 11  අවසන් මහා තරගය   ට්‍රිනිඩෑඩ්

Gossip Lanka Hot News Previous News Archive