ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ක්‍රීඩකයන්ට ණය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර වාර්ෂික කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමේදී ක්‍රීඩකයන්ට ගෙවිය යුතු මාස 3කට අදාළ ගෙවීම් පැහැර හරිමින් කටයුතු කර ඇතැයි අදාළ ක්‍රීඩකයෝ දැඩි කණස්‌සල පළ කරති. ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර පවතින කොන්ත්‍රාත්තුව මාර්තු මස -1 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්‌වා ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සෑම මාසයකටම අදාළ ගෙවීම් කෙරෙනු ඇත.

 එහෙත් මෙම වසරට අදළ ගෙවීම් සිදු කිරීමේදී එම කොන්ත්‍රාත් අත්සන් තැබීම මාස 4 කට ආසන්න කාලයක්‌ ප්‍රමාද වී ඇති අතර එම ගතවූ මාස 3 ට අදාළ මුදල් නොගෙවා ඉදිරි කාලසීමාවට අදාළ ගෙවීම් පමණක්‌ සිදුකරනු ලබන බව එම කොන්ත්‍රාත්තුවේ සඳහන් වී තිබේ. ජාතික සංචිතයේ ක්‍රීඩකයන් 21 දෙනාට මෙය පොදු නොවන අතර ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා ඒ, සංවර්ධිත සංචිතය මෙන්ම දේශීය තරගාවලියේ දක්‍ෂතා දක්‌වනු ලබන ක්‍රීඩකයන් 70 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයන් අදාළ කප්පාදුවට මුහුණ දී තිබෙන බව සඳහන්ය. මේ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි එක්‌ ක්‍රීඩකයකු, මෙම වසර මුලදී බංල්ගාදේශ තරගාවලියට පෙර ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට පීඩනය යොමු කරමින් කොන්ත්‍රාත්තුවෙහි අත්සන් ලබා ගැනීමට ක්‍රිකට්‌ බලධාරීන් පියවර ගැනීමෙහි යටි අරමුණ වූයේ අදාළ ඉදිරි කප්පාදුව බව සඳහන් කර සිටියේය. 

 ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ ආයතනය සමග සිදුකෙරෙනු ලබන කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේදී ජාතික සංචිතයේ ක්‍රීඩකයන් අනුව යමින් අදාළ ගිවිසුම් අත්සන් කිරීම මීට පෙර සාමාන්‍ය සිරිත වුවත් මෙම වසරට අදාළ දේශීය මට්‌ටමේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුව සාකච්ඡා මට්‌ටමේ පවතින බව පවසමින් බලධාරීන් අදාළ කොන්ත්‍රාත්තුව කල් දැමීමට පියවර ගෙන තිබේ.
මීට සති 3 කට පමණ ඉහත දෙපාර්ශ්වය අතර කොන්ත්‍රාත්තු අත්සන් තැබීම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සිදුකර තිබෙන අතර එහිදී ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයකු විසින් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් ප්‍රශ්න කර තිබේ. එහිදී 'අත්සන් කරනවා නම් අත්සන් කරන්න, නැත්නම් තියලා යන්න. ඒ කාලෙ ඔයාලා ඩිමාන්ඩ් කළා. දැන් අපි ඩිමාන්ඩ් කරනවා' යනුවෙන් රණතුංග මහතාගේ ප්‍රතිඋත්තර වී තිබේ. 
ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් අතර සිදුවූ කොන්ත්‍රාත් අත්සන් කිරීමේදීද කොන්දේසි පැනවීමට පියවර ගත් අතර ඒ පිළිබඳව බලධාරීන් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ක්‍රීඩකයන් වෙත විශාල මුදලක්‌ ලබාදෙන බැවින් ලෝක කුසලාන වැනි ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගිවීමේදී ක්‍රීඩකයන් වෙත ලබාදෙනු ලබන 25% ක මුදල ලබා නොදෙන බවත් එම මුදල දේශීය මට්‌ටමේ සිටින ක්‍රීඩකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීමට පියවර ගනු ලබන බවත්ය. 
 'කපනකොට නම් කියනවා මේ හේතුව නිසයි අපි ඒ ගෙවීම් නතර කළේ කියලා. දැන් එයාලා කරන්නෙ මොකද්ද...? කෝ අපේ සල්ලි...? මේවට මොකද වෙන්නේ...? ලෝක කුසලාන තරගාවලි කීයක අපි අවසන් මහ තරගයට ආවද...? ඒවගේ කොච්චර සල්ලි එනවද...? සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම ආයතනයක කරනු ලබන ගෙවීම් වසරින් වසර වැඩි වෙනවා මිසක්‌ අඩු වෙන්නේ නැහැ. ඒත් අපේ ආයතනය හැමදාම කරන්නේ අඩු කරන එක' යෑයි මේ පිළිබඳව 'දිවයින'ට අදහස්‌ දක්‌වා සිටි තවත් ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයකු සඳහන් කළේය. අදාළ ගෙවීම් සිදු කිරීමේදීද විදේශයන්හි පැවැත්වෙන තරගවල මුදල් ගෙවීම් සිදු කරන්නේ ඩොලර් වලින් වන අතර දේශීයව පැවැති තරගවලදී ගෙවීම් සිදු කරන්නේ රුපියල්වලින් වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ඩොලර් වලින් ගෙවිම් සිදු කිරීමේදී නිරන්තරයෙන්ම රුපියල් 10- හෝ 15 ක අතර අගයක්‌ අඩු කරගනිමින් අදාළ ගෙවීම් ක්‍රීඩකයන්ට සිදුකරනු ලබන බවද ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව තිබේ. මේ සම්බන්ධව කිසිදු ක්‍රීඩකයකු පැමිණිලි නොකිරීමට පියවර ගෙන ඇත්තේ මේ සියලූ කටයුතු පිටුපස රජයේ ඉහළම පෙළේ පුද්ගලයන් සිටින හේතුවෙන් නිසා වන බවද සඳහන් වේ.

Gossip Lanka Hot News Previous News Archive