දේශීය දියර කිරි නිෂ්පාදනය 16% කින් වැඩිවෙලා

වසරේ මුල් මාස හය තුළදී දේශීය දියර කිරි නිෂ්පාදනය සියයට 16 කින් වැඩිවී ඇති අතර ආනයනික කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් පන්දහසකින් අඩුවී ඇති බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කුලේෂ්වර් කුමාර් මහතා කියයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 332 වන බවත් එහි වටිනාකම රුපියල් බිලියන 16.6 ක්‌ බවද ඒ මහතා පැවැසීය.මධ්‍යම පළාතේ දෛනික දිය කිරි නිෂ්පාදනය ලීටර් දෙලක්‍ෂ විසිඅට දහසක්‌ වන අතර 2016 වසර වනවිට දියකිරි ලීටර් හාර ලක්‍ෂ පනස්‌දහසක්‌ දක්‌වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

ආනයනික කිරිපිටි ප්‍රමාණය අඩුවීම නිසා රුපියල් මිලියන 3000 ක්‌ ඉතිරිවන අතර ඒ සඳහා මධ්‍යම පළාතේ දායකත්වය රුපියල් මිලියන 750 ක්‌ බවද පැවැසීය.දේශීය දියර කිරි නිෂ්පාදනය 2016 වසරේදී අවශ්‍යතාවය සඳහා කර ඇති සැලසුම් අනුව දේශීය කිරි දෙනුන්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.මේ වනවිට දෛනිකව කිරි ලීටර් 2.2 ක්‌ ලබා ගන්නා දේශීය කිරි දෙනුන්ගේ ඵලදායිතාවය අදියර කීපයකින් දිනකට කිරි ලීටර් 9.2 ක්‌ දක්‌වා ඉහළ නැංවීම සඳහා වැඩිපිළිවෙලක්‌ද ක්‍රියාත්මක කර ඇති බවද පැවැසීය.දේශීය දෙනුන් සඳහා ජර්සි වර්ගයේ උසස්‌ ආරයේ ගව ශුක්‍ර තරල ගැබ් ගත කර උසස්‌ ආරයේ ගව පැටවුන් බිහි කිරීමේ වැඩ පිළිවෙළක්‌ ආරම්භ කර ඇති අතර මධ්‍යම පළාතේ කෘතිම සිංචන ලබාදීමේ සියයට 68 ක ප්‍රතිශතය සියයට සියයක්‌ දක්‌වා වර්ධනය කිරීමටද සැලසුම් කර ඇත.


දේශීය කිරි නිෂ්පාදනය සඳහා පාරම්පරික ගොවීන්ගේ දායකත්වය ලැබී ඇති අතර ඔවුන්ගේ දැනුම ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත. පළාතේ අඩු ආදායම්ලාභී පවුල් කිරි නිෂ්පාදනය සඳහා යොමුවී සිටිති.

Gossip Lanka Hot News Previous News Archive