ඕවල් පිටියේ මුත්‍රා කල එංගලන්ත ක්‍රීඩකයන්

අළුබඳුන තරගාවලියේ ජය සැමරුම් අතරතුරේදී සිය කණ්ඩායම් සාමාජිකයන් කිහිපදෙනෙකුම ඕවල් පිටියේ තණතීරුවේ මුත්‍රා කරන්නට ඇතැයි දඟපන්දු යවන ක්‍රීඩක ග්‍රැහැම් ස්වෝන් පවසා ඇත. ස්වෝන් මෙලෙස පවසා ඇතැයි බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතේ දැක්වේ.

 රාත්‍රී කාලයේදී ඕවල් පිටියේ පැවති සතුටු සාමිචියකදී එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකු වන කෙවින් පීටර්සන්, ස්ටුවර්ට් බ්‍රෝඩ් හා ජේම්ස් ඇන්ඩර්සන් මෙලෙස ඕවල් පිටියේ තණතීරුවේ මුත්‍රා කරන අයුරු දුටු බවට මීට කලින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. 

 කණ්ඩායමේ සියළුදෙනාම තණතීරුව මැද්දට ගොස් බීර බී ගීත කිහිපයක් ගායනා කරමින් විනෝද වූ බවත්, සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාවය වරක් හෝ දෙවරක් පැමිණියද එහිදී කරදරකාරී හෝ ගැටළුකාරී දෙයක් සිදුනොවුන බවත් ඔහු පවසා තිබේ. මධ්‍යම රාත්‍රියේදී තණතීරුව මැද පැවැත්වුනු මෙම සතුටු සාමිචිය පවත්වන විට පිටිය දැඩි අන්ධකාරයේ පැවති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත්, එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ මෙම වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි. මීට කලින්ද, රාත්‍රී සමාජ ශාලාවක බවුන්සර් සේවකයන් ගේ සිරුරු වලට මුත්‍රා කිරීම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොන්ටි පනීසාර් හට දඩ නියම කර තිබුණි.
 (ඒ.ඇෆ්.පී. ඇසුරෙනි)




Gossip Lanka Hot News Previous News Archive