මා ගැන වැරදි දේවල් ප්‍රචාරය වෙද්දීත් නිහඬව හිටියේ මා අසනීප වූ නිසයි - දුලීකා

දුලීකා මාරපන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. පහුගිය කාලයේ ඈ පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පැතිර ගියා. ජනාධිපති අරමුදලෙන් විදෙස් ශිෂ්‍යත්වයක් සඳහා මුදල් ලබාගෙන අදාළ කටයුත්ත පැහැර හැර එම මුදල අයථා ලෙස පරිහරණය කිරීම නිසා දුලීකාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි ඒ පුවත. ඒ පුවත ඇසූ සැණින් අපි දුලීකාට කතා කළත් ඇය කිසිදු මාධ්‍යයක් ඉදිරියට පැමිණියේ නැහැ. 

ඒ නිහැඩියාව හින්දම දුලීකා වැරදිකාරියක් වන්නට ඇතැයි සැකය බොහෝ අය තුළ ඇතිවුණා. ෙදෙවය කියන්නේ හරිම පුදුමාකාර බලවේගයක්. ඇතැම් අයට කරදර එන විට එක පිට එක කරදර ගලා එන්නේ නොසිතූ විදියට. අදාළ සිදුවීම වූ කාලයේම දුලීකා අසනීප වෙලා. සරලව කියනවා නම් දුලීකාගේ කටහඬ ගිහින් ඒ හේතුව නිසා දුලීකාට නිහඬ වන්නට සිදුවුණා. නමුත් අද වන විට ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබලා යම් තරමක් සුව අතර හැරිලායි ඉන්නේ. ඒත් තවම දුලීකා ප්‍රතිකාර ලබනවා. තරමක් දුරට හෝ සුව වූ සැණින් දුලීකා දැන් මාධ්‍ය ඉදිරියට ඇවිත් ඉන්නවා. කතා කිරීමේ අපහසුතාවය පැවතුණත් දුලීකා අප සමග එක්වුණේ මේ විදියට.

මුලින්ම අපිට දුලීකාගේ රෝගී තත්ත්වය පැහැදිලි කරන්න

මගේ ස්වරාලයේ ගෙඩි ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ. ඒ තත්ත්වයට ප්‍රතිකාර නොගෙන දිගින් දිගටම සිටීම හින්දා තන්තුවල ඝනවීමක් හා ස්වරාලය ඇඹරී යාමක් දක්වා තත්ත්වය දුර ගිහින්.


රෝගී ලක්ෂණ මතුවුණේ කොයි විදියටද?

මුලදී මට තිබුණේ සිහින් හඬක්. එන්න එන්නම මගෙ හඬ රළු වුණා. ඒ දිනවල මට ඉතා හොඳ ගායන හැකියාවක් තිබුණා. අන්තිමට මම ගීතයක් ගැයුවේ 2009දී. අද වන විට මට මගෙ ගායන හැකියාව අහිමිවෙලා. කොහොම හරි කාලයත් එක්ක හිටිහැටියේ කටහඬ ගිලී යන ගතියක් ඇතිවුණා. 2012 දෙසැම්බරයේ තමයි මම බර්නාඩාගේ සිපිරිගෙය වේදිකා නාට්‍යයේ රඟපෑවේ. පුහුණුවීම් කාලය තුළ හිටිහැටියේ මගේ කටහඬ නැතිව ගියා. ඒ විදියේ පසුබිමක කොහොම හරි රඟපාලා මම ඒ අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේ හොඳම සහය නිළිය සම්මානය ගත්තා. ඒත් ඉන් පස්සේ මම වේදිකා නාට්‍යවලට එක්වුණේ නැහැ.

duleeka1ටෙලි නාට්‍යවලට දායක වුණා?

මම වෘත්තීය නිළියක්. මම ජීවත් වෙන්න රඟපාන්න ඕනෑ. ටෙලි නාට්‍ය රූපගත කිරීම් අතර කටහඬ නැතුව ගියත් ආයෙම ඒ ජවනිකාව ගන්න පුළුවනි. ඒත් වේදිකාවේ එහෙම බෑ. සජීවීව රඟපාන්න වෙනවා. වේදිකාව මතදී කටහඬ නැතුව ගියොත් සමස්ත නාට්‍යයටම එය බලපානවා. ඒකයි වේදිකා නාට්‍යවලට දායක වීම නතර කරල ටෙලි නාට්‍ය විතරක් කළේ.

ඔබේ හඬ සම්පූර්ණයෙන්ම අහිමිව ගියේ.”

රෝගී තත්ත්වය එන්න එන්නම වැඩිවෙලා පහුගිය මාසේ 28 වැනිදා සම්පූර්ණයෙන්ම කටහඬ නැතුව ගියා.

ඒ වෙද්දී ඔබ රඟපෑ ටෙලි නාට්‍යය

“මලී 2 අත්තම්මා” නාට්‍යය සහ “සුරවිමන” කියන නාට්‍යය දෙක තමයි මම පහුගිය කා‍ලේ රඟපාමින් හිටියේ. අත්තම්මා නාට්‍යයේ දෙබස් අඩුයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒත් ‘සුරවිමන’ නාට්‍යයේ දෙබස් තියෙනවා. මම මේ අයට දැනුම්දීලා තාවකාලිකව නිර්මාණවලින් සමුගත්තා. එහෙම කළේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත. වෛද්‍යවරු කියා සිටියේ මගේ උගුරට විවේකය අවශ්‍ය බව. මුල්ම කා‍ලේ රෝග ලක්ෂණ මතුවන විටත් ඒ උපදෙස් ලැබුණා. ඒත් මගෙ රස්සාව අනුව ඒක කරන්න බැරිවුණා. ස්වරාලය ඇඹරීමට හේතුවත් රෝගී තත්ත්වය තිබියදී උගුර වෙහෙසවීමලු. පසුව මට සිදුවුණා වෛද්‍ය උපදෙස් මත කතා නොකර ඉන්න.

ඒ විදියට නිහඬව සිටීමෙන් ඔය රෝගී තත්ත්වය සුවවී යනවාද?

මේ රෝගී තත්ත්වය මේ රටේ ප්‍රවීණ ගායක ගායිකාවන්ට පවා හැදුනු අවස්ථා තියෙනවා. මේ සඳහා ශල්‍යකර්මයක් සිදුකළ යුතුයි. ඒ ගැන නිශ්චිත තොරතුරු ඉදිරියේදී වෛද්‍යවරු දන්වාවි.

දැනට ඔබ ප්‍රතිකාර ලබන්නේ කාගෙන්ද?

රවීන්ද්‍ර කිරිහේන සහ චන්ද්‍රා රණතුංග යන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් තමයි මා ප්‍රතිකාර ලැබුවේ. ඒ වගේම වෛද්‍ය විශේෂඥ ජයමාලි රූපසිංහ මහත්මියගේ උපදෙස් මත තමයි මම මේ දවස්වල හඬ පාලනය ගැන අදාළ කටයුතුවල යෙදෙන්නේ.

විවේක සුවයෙන් නිහඬව සිටින කා‍ලේ ඔබ ගැන පැතිර ගිය කටකතා ඔබට මානසික විවේකය ලබා දුන්නාද?

මම ඕනෑම ප්‍රශ්නයක් වූ හැටියේ ඒ ගැන විවෘතව කතා කරන කෙනෙක්. මේ විදියට මා ගැන වැරදි පුවත් ප්‍රචාරය වී යද්දී මට නිහඬ වන්න සිදුවුණේ මගේ ලෙඩේ හින්දා. වෛද්‍ය උපදෙස් මත මට කතා කරන්න අවසර ලැබුණා. විනාඩි පහෙන් පහට උණු වතුර බොන්න වෛද්‍යවරු මට උපදෙස් දී තියෙනවා. උණුවතුර බිබි දැන් මම සිද්ධිය ගැන ඇත්ත කතා කරනවා.

මොකක්ද ඒ ඇත්ත

ජනාධිපති අරමුදල යටතේ 2005දී මට රංගනය ගැන වැඩිදුර හදාරන්න විදෙස් ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ ගැන මම අතිගරු ජනාධිපතිතුමාට ගෞරවපූර්වකව ස්තූතිවන්ත වනවා. මා ඒ සඳහා විදෙස් ගත වුණා. ඔය කාලයේ මගේ අම්මා අසනීප වුණා. 

අම්මයි අප්පච්චියි නීතියෙන් වෙන් වෙලා ඉන්න බවයි, අම්මට ඉන්න එකම දරුවා මම බවයි හැමෝම දන්නවා. ඉතින් මට ලංකාවට එන්න සිදුවුණා. අම්මා ගොඩක් වයසයි. අම්මගෙ අස්ථි දිරායාමක් තියනවා. ඒ සඳහා ජයවර්ධනපුර රෝහ‍ලේ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතාගෙන් තමයි ප්‍රතිකාර ගත්තේ. වයස අනුව ඇයට අස්ථි බද්ධ කරන්න බැහැ. අම්මා ළඟ මම ඉන්න ඕන. මගෙ අසනීප තත්ත්වය තියෙද්දී මම දිගටම රඟපෑවත් අම්මට බෙහෙත් කරන්න සල්ලි ඕන හින්දා මේ තත්ත්වය මම අදාළ අංශවලට දැනුම් දුන්නා. ඒ වගේම සුදුසු වාතාවරණයක් උදා වූ හැටියේ යළි විදෙස් ගතවෙලා මගෙ විභාගය සම්පූර්ණ කරන බවත් දැන්වූවා.

ඔබට උසාවි කැඳවීමක් කළ බවත් පැහැර හැරි බවත් පුවතේ පළවී තිබුණා.

පුවතේ සඳහන් දිනයේ මට ඔය කියන විදියේ සිදුවීමක් වූ බවත් මා දන්නෙ නැහැ. ඒ වගේම මේ වනතුරුම මට උසාවියෙන් දැනුම්දීමක් කරලත් නැහැ. බැරි වෙලාවත් මම ශිෂ්‍යත්වයකට මුදල් ලබාගෙන එම ශිෂ්‍යත්වය පැහැරහැරි නිසා බව පවසනවා නම් එම මුදල මට හැකි විදියට වාරික වශයෙන් හෝ ආපසු ගෙවන්න වුණත් මා සූදානම්.

ආරියවංශ කුලතිලක

Gossip Lanka Hot News Previous News Archive