ඊළාම් සමුළුවට ලන්ඩන් ගිය සරසවි ඇදුරන්ට වැඩ වරදී

ලන්ඩනයේ පැවැති ඊළාම් සමුළුවකට සහභාගි වීමට අගමැතිවරයා, උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් මුලාකර අවසර ගෙන ඇතැයි කියන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 12 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙයි. තමන් සහ අග්‍රාමාත්‍යවරයා වෙත අසත්‍ය තොරතුරු සපයා ඒ සඳහා අවසර ලබාගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අතරින් සිවු දෙනකු පමණක් එම සමුළුවට සහභාගි වී ඇති බවත් සෙසු පිරිසට මහා බ්‍රිතාන්‍යයෙන් වීසා නොලැබිමේ හේතුවක් මත එහි යාමට නොහැකි වී ඇතත්, ඒ සියලුම දෙනාගේ සේවය අත්හිටුවා ඒ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තම අමාත්‍යංශ ‍ලේකම්වරයා මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දුන් බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්. බි. දිසානායක මහතා ලක්බිම පුවත්පතට පවසා ඇත .

එම මහාචාර්යවරුන් පිරිස අග්‍රාමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් රටින් පිටව යාම සඳහා අවසර ගෙන ඇත්තේ දෙමළ විද්‍යාව පිළිබඳව ඉකුත් 14 දා සිට 18 දා දක්වා ලන්ඩන් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා කියමිනි. ඒ නමුත් එම සමුළුව පවත්වා ඇත්තේ දැනට ශ්‍රී ලංකාවෙන් බැහැරව නාමිකව පමණක් ක්‍රියාත්මක කෙරෙන විකල්ප ඊළාම් රාජ්‍යයට අයත් මෙහෙයුම් මධ්‍යස්ථානයක් මගින් යැයිද තොරතුරු හෙළිවී තිබේ.

එලෙස පවත්වන ලද සමුළුව පිළිබඳ නිවැරදි තොරතුරු ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය හරහා බ්‍රිතාන්‍ය රජයේ සහාය ගැනීමටද පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන ඇමැතිවරයා කීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒකීය රාජ්‍යයකට පක්ෂපාතීත්වය දක්වන බවට දිවුරුම් දී ඇති මෙරට කිසිදු රාජ්‍ය අංශයේ සේවකයකුට බෙදුම්වාදී අරමුණක් යටතේ පැවැත්වෙන මෙවැනි සමුළුවකට සහභාගිවීමට කිසිදු නීත්‍යනුකූල අයිතියක් නොමැති බවය.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ඒ. එම්. රම්ස්, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙල්ලයියා යෝගරාජ්, යාපනය විශ්වවිද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. සිවසුබ්‍රමනියම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වී. මහේෂ්වරන්, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය එස්. ධර්මේන්ධි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති රාසයියා මහේෂ්වරන් සහ මහාචාර්ය විසකරුබරන් යන අය මෙම සමුළුව සඳහා ලන්ඩන් යාමට නිවාඩු අනුමත කරගෙන ඇත.

බුද්ධි අංශ තොරතුරුවලට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ බවත් එහිදී ද මොවුන් පර්යේෂණයට යැයි කියමින් නිවාඩු අනුමත කරගෙන ඇතැයි හෙළිවූ බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්. බි. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රාජ්‍ය බුද්ධි අංශවල සහයෝගයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බවත් මොවුන් රටේ ස්වාධිපත්‍යයට එරෙහිව කටයුතු කර ඇත්නම් වහා ඔවුන් සේවයෙන් ඉවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ ස්වෛරීභාවයට හානි කරමින් මෙරට පුරවැසියකු කටයුතු කළේ නම් පවතින ව්‍යවස්ථාවට අනුව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වනු ඇති බවද එස්. බි. දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

නිහාල් ජගත්චන්ද්‍ර - කමණි හෙට්ටිආරච්චි

Gossip Lanka Hot News Previous News Archive