තංගල්ල අපරාධය වූ තැන ලේ සැකකරුවන්ගේ ඩී.එන්.ඒ. හා සැසඳේ

තංගල්ල හෝටලයක් තුළ දී, බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව අපරාධය සිදු වූ ස්ථානයේ තිබූ රුධිර සාම්පල, සැකකරුවන් තිදෙනකුගේ රුධිරයේ ඩී.එන්.ඒ. සාම්පල සමග සැසඳෙන බව අධිකරණයට ලබා දුන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් මගින් තහවුරු කොට තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ල හෝටලයක් තුළ දී ඝාතනය කරනු ලැබුවේ 2011 වසරේ නත්තල් දිනයේයි.රහස් පොලීසිය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ අපරාධය සිදු වූ ස්ථානයේ තිබී සොයා ගත් ලේ පැල්ලම් මෙම සිද්ධියට සම්බන්ධ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදාන පතිරණ ඇතුළු තිදෙනකුගේ ලේ සාම්පල සමග සැසඳෙන බවයි.රාගම අධිකරණ වෛද්‍ය පීඨයේ දී ලේ සාම්පල පරීක්ෂණය සිදු කොට තිබේ.

ගාසා තීරයේ සේවය කරමින් සිටි ජාත්‍යන්තර රතු කුරුසයේ කුරාම් ෂයික් මරා දමනු ලැබුවේ සිය රුසියානු මිතුරිය වික්ටෝරියා අලෙක්සන්ද්‍රෝව්නා සමගින් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කරමින් සිටියදී.තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවන් අට දෙනෙක් ඇප මත නිදහස ලබා සිටිති.

Gossip Lanka Hot News Previous News Archive