වයඹ පළාතේ සංවර්ධනයට ලැබුණු විදෙස් ආධාර නිසි කළමනාකරණයකින් භාවිතා කර නැතැයි වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
'ඇතුගල්පුර විදුහල්පති ගුරු එකතුව' කුරුණෑගල නගර ශාලාවේදී සංවිධාන කළ පිළිගැනීමේ උත්සවයකට සහභාගීවෙමින් මහ ඇමතිවරයා එසේ පැවසීය.
මෙසේ ලැබුණු විදෙස් ආධාරවලින් සියයට 50ක් ආපසු ගොස් ඇත්තේ නිසි ප්‍රයෝජනයක් නොගත් නිසා බවද ඒ මහතා එහිදී ප්‍රකාශ කෙළේය.
ඉදිරියේදී රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර අපට ලැබෙන මුදල් යහපත් අයුරින් භාවිතා කර වයඹ ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවද මහ ඇමැතිවරයා කීය.
මෙහිදී දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
'' තාමත් වයඹ පළාතේ පොල් අතු සෙවිලි කළ පාසල් තිබෙනවා. වැසි දිනවලට දරුවන් තෙමෙනවා. පොල් අතු සෙවිලි කළ සියලුම පාසල්වලට ස්ථිර වහල ඉදිකිරීමට ඉක්මනින්ම කටයුතු කරනවා.
මා විදුහල්පතිතුමන්ලාගෙන් ගුරුවරුන්ගෙන් එක ඉල්ලීමක් කරනවා. මා පිළිගැනීමේ උත්සවවලට කැඳවන එකෙන් තාවකාලිකව නිදහස් කරන්න.
බෙර ගහල, නටල මාව පිළිනොගත්තට කමක් නැහැ.
මට ඒ කාලය වටිනවා. මට පුළුවන් පළාත සංවර්ධන කරන අයුරු ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරන්න.
ඒ වගේම පාසල් අධ්‍යාපනය නඟාසිටුවන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. තියෙන අඩු පාඩු හඳුනාගන්න පුළුවන්. ඒවාට ප්‍රතිකර්ම වහාම කළ යුතුයි. අඩු පහසුකම් සහිත පාසල් නඟාසිටුවිය යුතුයි. ගමේ පාසල්වලටත් තාක්ෂණික දැනුම ගෙන යා යුතුයි.
