ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.2කට නගී

පෙබ 12, 2014 (විමසුම) – අන්තර් ජාතික මූල්‍ය අරමුදලට කරන ලද ණය ආපසු ගෙවීම් හා රන් ආයෝජනයේ සිදු වූ අලාභ මැද වුව ද 2013 වසරේ දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඊට පෙර වසරට සාපේක්ෂව අ.ඩො. බිලියන 7.2ක් දක්වා සියයට 4.6කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුවේ නිල සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව අ.ඩො. මිලියන 991ක ගෙවුම් ශේෂ අතිරික්තයක් පෙන්නුම් කළ ද විදේශ සංචිත වර්ධනය වී ඇත්තේ අ.ඩො. මිලියන 320කින් පමණි.බොහෝ අවස්ථාවල දී ගෙවුම් ශේෂ අතිරික්තය, ශුද්ධ විදේශ සංචිත වර්ධනය සමඟ සම්බන්ධයක් පවතී.මෙම වෙනසට මූලික හේතුව ලෙස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති P.N වීරසිංහ පෙන්වා දෙන්නේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලට කරන ලද අ.ඩො. මිලියන 500කට අධික ණය ආපසු ගෙවීම්ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2013 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් ආයෝජනයේ සිදු වූ අලාභය අ.ඩො. මිලියන 200කට අධික බවයි.කෙසේ වෙතත් මීට ඉහත වසරවල දී රන් ආයෝජන හරහා විශාල ලාභයක් ඉපැයීමට මහ බැංකුවට හැකි විය.


පසුගිය වසරේ දී රත්රන් මිළ ගණන් සියයට 28කින් පහත වැටුණු අතර එය 1981 වසරෙන් අනතුරුව බල පෑ දරුණුතම කඩා වැටීමයි.

මේ වසරේ මුල් මාසයේ ශ්‍රී ලංකාව අළෙවි කළ අ.ඩො. බිලියනයේ බැඳුම්කරයෙන් ලද මුදල්, ඉහත විදේශ සංචිතවලට ඇතුලත්ව නැත.

Gossip Lanka Hot News Previous News Archive