මම නිළියක් වුණාට මට හොඳ දේශපාලන පසුබිමක් තිබෙනවා - Anarkalli Aakarsha

"මම තමයි දේශපාලනයට ආපු ලංකාවේ ළාබාලම නිළිය"
අනර්කලී ආකර්ෂා ඉතා ආකර්ෂණීය චරිතයකි; තරුවකි. විටෙක ඇය රංගන ශිල්පිනියකි. විටෙක ඇය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි. තවත් විටෙක ඇය දේශපාලනඥවරියකි. මේ දිනවල අනර්කලී ඉතාම කාර්ය බහුල වී ඇත. ඒ ඇය දකුණු පළාත් සභා ඡන්දයේ අපේක්ෂිකාවක වීම නිසාය.

* අනර්කලී කොහොමද මේ දිනවල ඔබේ කාලය ගෙවෙන්නේ?

මේ දිනවල මම වැඩිපුර කාලය ගත කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී ඡන්දය ඉල්ලන්නේ මාතර දිස්‍ත්‍රික්කයෙන්. මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන එකම කාන්තාව මම.

* ඇයි ඔබ මෙවර ගාල්ල දිස්‍ත්‍රික්කය අතහැර මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන්නේ?


ඒක පක්ෂය ගත් තීරණයක්. මගෙ ගම මාතර. පසුගිය පළාත් සභා ඡන්දයේදිත් මට මාතරින් තරග කරන්න කියල ඉල්ලීමක් ආව. නමුත් මම ඒක ප්‍රතික්ෂේප කළේ එක්තරා හේතුවක් නිසා. නමුත් දැන් මට එහෙම ගැටලුවක් නෑ. ඒ නිසයි මම මාතරින් ඡන්දය ඉල්ලන්නේ. එහෙම වුණත් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මම කවදාවත්ම අමතක කරන්නේ නෑ. දකුණු පළාත් සභාවෙ ඉඳගෙන මම ඔවුන් වෙනුවෙන් උපරිම සේවයක් කරනවා.

* ඔබ හිතනවද, පසුගිය කාලය තුළ ඔබව පත් කළ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න හැකි වුණාය කියල?

ජනතාවට සේවයක් කිරීමේදී මධ්‍යම රජයට තරම් හැකියාවක් පළාත් සභාවට නැහැ. නමුත් පළාත් සභා මන්ත්‍රීවරියක් හැටියට මට කරන්න පුළුවන් උපරිමය කරන්න මම උත්සාහ කළා.

ගමේ කාන්තාවන් නඟා සිටුවන්න, දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් ලබා දෙන්න, විදුලිය ජලය නැති ප්‍රදේශවලට ජලය විදුලිය ලබාදෙන්න, නිවාස ආධාර ශිෂ්‍යාධාර ලබාදෙන්න පසුගිය කාලය තුළ මම මට හැකි පමණින් කටයුතු කළා. ඒ වගේම දුම්රිය බස් රිය වැනි පොදු ප්‍රවාහන සේවා තුළ කාන්තා හිංසනය අවම කිරීමේ අදහසින් CCTV කැමරා සවි කළ යුතු බවට යෝජනාවක් ගෙනාවේ මම. ඒ යෝජනාව මුළු ලංකාව තුළම මේ අවුරුද්දේ සිට ක්‍රියාත්මක වේවි. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා.

* මොනවගේ ඉදිරි වැඩ පිළිවෙළක් එක්කද ඔබ මෙවර ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්නේ?

දකුණේ සංචාරක කර්මාන්තයෙන් අපේ රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ඉතාම දියුණුයි. නමුත් මාතර දිස්ත්‍රික්කයේ තත්ත්වය එහෙම නෑ. මාතර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.

එසේම දකුණේ ජනතාවගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරීමේ අවශ්‍යතාවයකුත් මට තිබෙනවා. ඒ වගේම මාතර තරුණ පරපුරට තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නත් මගේ අදහසක් තිබෙනවා. විශේෂයෙන් ළමා සහ කාන්තා හිංසනය වෙනුවෙන් උපරිම හ‍ඬක් නඟන්න මම බලාපොරොත්තු වෙනවා.

* දකුණෙන් බස්නාහිරට එන්න අදහසක් නැතිද?

නැහැ එහෙම අදහසක් නෑ. මට ආරාධනා කීපයක්ම ලැබුණා කොළඹින් ඡන්දය ඉල්ලන්න කියලා. නමුත් මම ඒක ප්‍රතික්ෂේප කළා. මම කැමැති නෑ කොළඹ සීතල කාමරවල ඉඳගෙන කරන දේශපාලනයට. මම කැමැතියි ජනතාව සමඟ ජීවත්වෙලා ජනතාවට සේවය කරන්න.

* ඔබේ ඊළඟ බලාපොරොත්තුව පාර්ලිමේන්තුවද?

අනිවාර්යෙන්ම. පසුගිය පළාත් සභා මැතිවරණයෙන් මම දිනුවට පසුව පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ හැකියාව මට තිබුණා. නමුත් මම ඒකට උනන්දු වුණේ නෑ. පාර්ලිමේන්තුව කියන්නෙ උත්තරීතරම තැන. එතැනට යන්න නම් දේශපාලනය පිළිබඳ ඉතාම හොඳ දැනුමක් තියෙන්න ඕන. මීට අවුරුදු කීපයකට පෙර මට ඒ දැනුම තිබුණේ නෑ. නමුත් පසුගිය කාලයේදී මම දේශපානය පිළිබඳ යම් දැනුමක් ලබාගත්තා.

* මෙවර පළාත් සභා ඡන්දයට නළු නිළියන් කීප දෙනෙක්ම තරග කරනවා. ඔබට මොකද ඒ ගැන හිතෙන්නේ?

ලංකාවේ දේශපාලනයට ආව පළමු නළුවා තමයි ඇන් ඇම් පෙරේරා මහත්තය. ලාබාලම නිළිය මම. දේශපාලනයට එන්න මගේ ලොකු හීනයක් තිබුණා. මගේ සිහිනය තවත් පිරිසක් අනුගමනය කිරීම ගැන මට සතුටුයි. මෙවර පළාත් සභා ඡන්දයට කලා කරුවන් ඉදිරිපත් වෙන්නේ ඔවුන්ගේම වුවමනාවටයි කියලයි මම හිතන්නේ. එහෙම නැතිව කාගෙවත් වුවමනාවකට දේශපාලනයට ඒම මෝඩකමක්.

* දේශපාලනය කියන විෂය නිළියක් හැටියට ඔබට දැනෙන්නේ කොහොමද?

මම නිළියක් වුණාට මට හොඳ දේශපාලන පසුබිමක් තිබෙනවා. ඒ නිසා දේශපාලනය කියන විෂය මට අමුතු දෙයක් නෙමෙයි. දේශපාලනය කියන දේ මගේ ජීවිතය වෙනස් කළා කිව්වොත් හරි. කලා ශිල්පිනියක් හැටියට මගේ රසික රසිකාවියන්ට දෙන්න පුළුවන් මගේ කලා නිර්මාණයක් පමණයි. නමුත් දේශපාලනඥවරියක් හැටියට සමාජය වෙනුවෙන් බොහෝ දේ කිරීමේ හැකියාව මට ලැබෙනවා. දේශපාලනයට පිවිසීම නිසා මට හැකිවෙලා තියෙනව අනෙක් අයට උදව් කරන්න.

* එයින් අදහස් වෙන්නේ ඔබ කලාවෙන් දුරස් වෙනවා කියන එකද?

නැහැ. එහෙම නැහැ. නමුත් ඉදිරියේදී මම ඉතාම සීමිත නිර්මාණ සංඛ්‍යාවකට පමණක් දායක වෙනවා.

* ඉදිරියේදී එන්න තිබෙන ඔබේ නිර්මාණ මොනවාද?

මම රඟපෑ ‘ජූලි හතයි’ චිත්‍රපටය මේ අවුරුද්දේ ජූලි මාසයේදී තිරගත වේවි. එය ඉතාම ලස්සන චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කළේ සංජය නිර්මාල්. ඉතාම ශීඝ්‍රයෙන් නැතිවී ගෙනයන ලංකාවේ පවුල්වල බැඳීම ආරක්ෂා කරගන්නේ කෙසේද කියන එක මේ චිත්‍රපටයෙන් කතා වෙනවා.

ගාමිණී සුසන්ත

Gossip Lanka Hot News Previous News Archive