නිළියො වෙලා අපට වැරැදුණේ නැහැ

පුංචි තිරයට ආපු හැඩකාර, කටකාර කෙල්ල දැන් මවු පදවියට සූදානමින් ඉන්නේ....අක්කගෙම අඩි පාරේ ආපු නංගිත් දැන් අක්කට නොදෙවැනි වෙන්න රංගන කටයුතු වල නිරත වෙනවා. මේ අක්කලා නංගිලාව අපි කතාබහට එකතු කරගත්තේ අලුත් තොරතුරු දැනගන්නත් එක්ක.

වත්සලා කොහොමද ජීවිතේ?
මේ දවස්වල බොහොම සතුටින්, නිදහසේ කාලය ගත කරනවා.

සතුටට හේතුව අලුත් අමුත්තාගේ පැමිණීම වෙන්න ඇති?
ඔව්... ඒ දිනය දැන් හුඟාක් ළඟයිනේ... ඒ ගැන හුඟාක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

රංගනයට සමු දුන්නට නිවේදන කටයුතුවලට සමුදීලා නෑ වගේ?
නෑනේ... තාම දෙරණෙ මනාලි වැඩසටහන කරනවානේ. ඒත් ළඟදීම ඒ වැඩසටහනිනුත් පොඩි නිවාඩුවක් ගන්නවා.

කවුද එතකොට ඒ අඩුව පුරවන්නේ?
මගේ නංගි බුවිනි. එයත් රංගනයට අමතරව නිවේදන කටයුතුත් කරනවානේ.
අක්කාගේ අඩුව පුරවන්න පුළුවන්ද බුවිනි?
උපරිමයෙන් උත්සාහ කරනවා. මේ දවස්වල මම ඒ වැඩසටහන ගැන අධ්‍යයනය කරනවා. නිවේදනය මට නුහුරුම නෑ. දැනටත් මම ඛ්ඉව් නාලිකාවේ නිවේදන කටයුතු කරනවා.

මේ දවස්වල බුවනිට රංගනයට ලැබෙන ප්‍රතිචාර හොඳද?
ඔව්. 'සඳසාවි' 'පබසරා' ටෙලිනාට්‍යය දෙකම විකාශය වෙනවා. ඒ නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් තාම අඩුවක් නෑ.

ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම ගෙදරින් ලැබෙන ප්‍රතිචාරත් වැදගත්නේ. වත්සලාට නංගිගෙ රඟපෑම් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
පුළුවන්... හදාගන්න දේවල් තියෙනවා. තාම පටන් ගත්තා විතරනේ. ඒත් මම එයාගෙ හැකියාව ගැන සතුටු වෙනවා.

නංගි නිළියක් වුණේ අක්කා නිසා නේද?
ඔව්... ආසාව ඇතිවුණේ අක්කා නිසා.

ඒ කියන්නේ අක්කා නංගිගේ ආසාව ගැන හිතලා නංගිව නිළියක් කළා?
අපෝ නෑ... මම කිසිම වෙලාවක කිසිම අධ්‍යක්ෂවරයෙක්ට නංගිව හඳුන්වල දීලත් නෑ. චරිත දෙන්න කියලත් නෑ.

ඇත්තද බුවිනි මේ කියන්නේ?
මට පළමවැනි නිර්මාණයට ආරාධනා ලැබෙනකොට මම වත්සලාගෙ නංගි කියලා දන්නෙත් නෑ. හැබැයි පස්සෙ දැනගත්තා ඒක ඉතින් වළක්වන්න බෑනේ.

බුවිනි නිළියක් වෙන්න හිතුවේ රඟපාන්න තියෙන ආසාව නිසාද, නැත්නම් නිළියක් නිසා ලැබෙන වරප්‍රසාදවලට ආසාවෙන්ද?
එහෙම වරප්‍රසාදවලට ආසාවෙන් නිළියො වෙන අයත් ඇති. ඒත් මට එහෙම වුවමනාවක් තිබුණෙම නෑ. මම ආසාවෙන් හිටියේ රඟපාන්න.

නිළියක් වෙලා අක්කාට නම් වැරැදුණේ නෑ. නංගිටත් එහෙම වෙයිද වත්සලා?
නංගිටත් වැරදෙන්න විදියක් නෑ. මොකද එයා ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ඇතිවයි ආවේ. ඒ නිසා බොරු වළවල්වල වැටෙන්නෙ නැතිව හරි පාරෙ යන්න එයා දන්නවා.

දියලගොඩ පවුලෙන් නිළියො දෙන්නෙක් බිහි වුණා. තවත් අය එන්න ඉන්නවාද?
අපෝ නෑ... අපිට වෙන සහෝදරියෝ නෑනේ. ඉන්නෙ එක මල්ලි කෙනෙක් විතරයි. එයා කැමති ක්‍රීඩාවට. අනිත් එක එයා තාමත් ඉස්කෝලෙ යනවා. ආයෙ ඉතින් නළුවෙක් හරි නිළියක් හරි වුණොත් වෙන්නෙ දියලගොඩ කෙනෙක් නෙමෙයි ගුණසිංහ කෙනෙක්.

ඒ කියන්නෙ වත්සලා දරුවාව රංගනයට යොමු කරනවා
නෑ... නෑ... මම එහෙම කිව්වෙ නිකමට. එයා අනාගතයේ කවුරු වෙයිද කියලා අපිට කියන්න බෑනේ. ඒත් එයාගෙ අම්මයි, තාත්තයි දෙන්නම කලාවට සම්බන්ධ නිසා එහෙම තීරණයක් ගත්තත් වැරැද්දක් නෑනේ.

වත්සලා ආසාවෙන් ඉන්නේ දුවෙක්ටද? පුතෙක්ටද?
කවුරු වුණත් ඒ අපේ දරුවානේ. ඒ නිසා ඕනෑම කෙනෙක් බාරගන්න සූදානම්.

ලැබෙන්න ඉන්නේ දුවෙක්ද, පුතෙක්ද කියලා තාම දන්නෙ නැද්ද?
දන්නෙ නෑ කියලා බොරු කියන්න ඕන නෑනේ.. ඒත් අපි එයා කවුද කියලා තව ටික දවසකින්ම කියමු නේද?

ඔයා සුබ ආරංචිය ඉස්සෙල්ලාම අපිට කියනවාද?
ඔව්. ඒකෙ වෙනසක් නෑ.

බුවිනිත් එහෙනම් 'පුංචි කෙනෙක් වෙනවා?
ඔව්නේ. අපි ඉවසිල්ලක් නැතිව ඉන්නේ ඒ දවස උදාවෙනකන්. මම පුංචි කෙනෙක් විතරක් නෙමෙයි අපේ මල්ලි මාමා කෙනෙක් වෙන්නත් අම්මයි තාත්තයි ඉස්සෙල්ලාම ආච්චියි සීයයි වෙන්නෙත් අක්කගෙ බබා නිසා. ඒ නිසා එයා අපිට හුඟාක් වටිනවා.

කරිෂ්මාට දුව ලැබුණ වෙලාවෙ එයාගෙ නංගි කරීනා තෑගි දුන්නේ නවීන පන්නයේ මෝටර් රථයක්ලු. බුවිනි අක්කගේ බබාට දෙන්නේ මොනවද?
එහෙනම් මම ප්ලේන් එකක්වත් දෙන්න ඕනෑ නේද? (හිනාවෙමින්) මම ඒ පැටියට අඩුවක් නැතුව ආදරේ දෙනවා. ඊට අමතරව තව හුඟාක් දේවල් දෙන්න හිතාගෙන ඉන්නවා.

කවදාටත් ජීවිතේ බරක් පතළක් නොතිබුණු වත්සලා දැන් මවු පදවියේ වගකීම බාරගන්න ලෑස්තිද?
ඇත්ත. කවදත් මට ජීවිතේ බරක් පතළක් දැනුණේ නෑ. ගෙදරදි අම්මයි තාත්තයි බරක් දුන්නේ නෑ. බැන්දට පස්සෙ ප්‍රසංග නිසා ඒ වගකීම දැනුණෙ නෑ. ඒත් තව ටික දවසකින් මමත් අම්මා කෙනෙක් නේද කියලා හිතෙනකොට නම් නුහුරු, ඒත් බොහොම ආදරණීය හැඟීමක් දැනෙනවා. කොහොම වුණත් මගේ දරුවාට මං හොඳ අම්මා කෙනෙක් වෙනවා.

ප්‍රසංග මොකද කියන්නේ?
එයා නම් මහා පුදුම තාත්තා කෙනෙක්. මටත් වඩා ඉවසිල්ලක් නැත්තෙ එයාට. මම එක දෙයක් දන්නවා මේ ලෝකෙ ඉන්න හොඳම සහ ආදරණීයම තාත්තා ඉන්නේ මගේ දරුවාට.

දරුවාගේ වැඩකටයුතුවලට කවුද උදව් කරන්නේ?
අපේ ගෙදර අය යුද්දෙට යන්න වගේ ලෑස්තිවෙලා ඉන්නේ. ප්‍රසංගගෙ අම්මා, තාත්තා, සහෝදරියො වුණත් එහෙමයි. දරුවා බලාගන්න නම් ප්‍රශ්නයක් නැති වෙයි.

එහෙනම් වත්සලා ඉක්මනින්ම රංගනයට එකතු වෙයි?
අවුරුද්දක් විතර රඟපාන්න නම් යන්නෙ නෑ. ඒත් බබාට මාස තුන හතරකින් නිවේදන කටයුතු නම් පටන් ගන්නවා.

ඔන්න බුවනි අක්කා අම්මා කෙනෙකුත් වුණා. නංගිට ඔය තත්ත්වෙට එන්න කොච්චර කල් යයිද?
අම්මෝ... තව කල් තියෙනවා.

ඒ වුණාට දැනටමත් පෙම්වතියක්නේ?
ඔව්. හැබැයි විස්තර නම් අහන්න එපා.

නංගි හොයාගෙන ඉන්න මස්සිනා පොඩ්ඩ හොඳයිද වත්සලා?
කියන විදියට නම් හොඳයි වගේ.

ඒ කියන්නේ අක්කාගේ අකමැත්තක් නෑ වගේ නේද බුවිනි?
ඔව් ඔව්. එයා අයියා වගේ (ප්‍රසංග) ඒ දෙන්නාට හුඟාක් වෙලාවට තියෙන්නේ එක වගේ අදහස්.

ඉතින් කවදාද විවාහ වෙන්නේ?
හොඳම වෙලාවට. ඒ වෙලාව තව අවුරුද්දකින් එන්නත් පුළුවන් අවුරුදු දෙක තුනකින් එන්නත් පුළුවන්.

අක්කා නම් දැන් දකින එකම හීනය හෙට අනිද්දට පවුලට එකතු වෙන දරු පැටියානේ. ඒත් බුවනි කලා ජීවිතේ හීන ගොඩාක් දකිනවා ඇතිනේ?
තාම මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුද්දයි. ඒ අවුරුද්දට මට ලැබුණ ජනප්‍රියත්වය ගැන සතුටුයි. නිළියක් විදියට වගේම නිවේදිකාවක් විදියටත් තව දුර ගමනක් යන්න ඕනෑ. හැබැයි හෙමින්. බොහොම පරිස්සමින්.

Buwani Chapa Diyalagoda & Wathsala Diyalagoda

හිමේෂා සවන්තී රාජපක්ෂ

Gossip Lanka Hot News Previous News Archive