පැටියා බේර ගන්න වළට පැන්න ඇතින්න පැටියත් සමඟම මිය යයි

මවු සෙනෙහසින් දෑසින් කඳුළු රූරා වැටෙද්දී ඇගේ දෙතනින් කිරි කඳුළු වෑස්සිණි. අවසානයේ දරු දුකින් අෑ නැඟූ විලාපය ඇහැටුවැව ඇතිනිමලේ මී ඔය ඉස්මත්තෙන් ගිගුම් දෙන්නට විය.ඇගේ විලාපයෙන් පළාත දෙවනත් විය.නිරන්තර අලි ගම් වැදීම ඇහැටුවැව, ඇතිනිමලේ ප්‍රදේශවාසීන්ට සාමාන්‍ය සිදුවීමක් වුවත් ඒ විලාපයේ අනතුරක සේයාවක් ඇති බව වටහාගත් ගම්වාසීහු මී ඔය ඉස්මතට දිව ගියේ කුමක්දැයි දැනගැනීමේ අපේක්‍ෂාවෙනි.

ගම්වැසියන් කළ දැනුම්දීමෙන් පසුව එතැනට ගල්ගමුව වනජීවී අඩවි ආරක්‍ෂණ අංශයෙන් හා ගල්ගමුව පොලිස් ස්ථානයෙන්ද නිලධාරීහු පැමිණියහ.එහෙත් ඔවුනට දැකගත හැකි වූවේ වගා ළිඳ තුළ මියගොස් සිටින අලි පැටවා සහ මවු ඇතින්නය.රාත්‍රියේ වගා ළිඳට ඇද වැටුණු තම පැටවා බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ මවු ඇතින්න අවසානයේ කිරි කඳුළු හා මවු සෙනෙහසද කැටිව එම වගා ළිඳ තුළටම වැටී පැටවාත් සමඟම මියගිය මෙම ශෝකජනක පුවත වාර්තා වූයේ ඇහැටුවැව, ඇතිනිමලේ ප්‍රදේශයෙනි.

අඩි හතක් පමණ උස වයස අවුරුදු විස්සක් පමණ වූ මවු ඇතින්න, අඩි තුනක් පමණ උස, වයස අවුරුදු තුනහමාරක් පමණ වූ අලි පැටවාගේ සිරුර මතට වැටීමෙන් ඇති වූ තෙරපීමෙන් හා සිරවීමෙන් දෙදෙනාම අඩි විසිඅටක් පමණ ගැඹුරැති ජලය බිඳකුදු නොතිබූ වගා ළිඳ තුළ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වී සිටි බව ගල්ගමුව වනජීවී අඩවි ආරක්‍ෂක අයි.එම්.ජී. සෙනෙවිරත්න මහතා පැවැසීය.


මවු සෙනෙහසට සමාන කළ හැකි සෙනෙහසක් ලොව නැත. එය මනුෂ්‍යත්වයට පමණක් නොව තිරිසන් සත්ත්වයන්ටද පොදුය. ඇහැටුවැව, ඇතිනිමලේ වගා ළිඳට වැටුණු මවු ඇතින්නටද දරු දුක දැනෙන්නට ඇත.

උපන් විගස දරුවන් මරා දමා කුණු කූඩයට විසිකරන අම්මාවරුන් සිටිනා ලොවක පැටවා බේරාගන්නට ගොස් අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ මවු ඇතින්න ඒ සියලු අම්මාවරුන්ට කියා පෑවේ දරු සෙනෙහසේ අරුත නොවේද?

පෙරේදා මැදියම් රාත්‍රි සිට එම ඇතින්න සමඟ ඒ අවට රැඳීසිටි අලිරංචුවක් මහ හ¾ඩින් කෑගැසීම නිසා අවට ගම්වාසීන්ද බියපත්ව පසුදා ඒ බව පොලිසියට දන්වා තිබේ. පොලිසිය පැමිණ සිදුකළ සෝදිසියේදී මේ ඛේදවාචකය දැකගන්නට ලැබී තිබේ.

එම ප්‍රදේශය භාර පශු වෛද්‍ය තාරක විජේසිංහ මහතා එම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ පැවැත්වූ බවද පොලිසිය කියයි.වගා ළිඳට වැටී මියගිය ඇතින්න සහ ඇගේ පැටියා එම වගා ළිඳ තුළම භූමිදානය කිරීමට බැකෝ යන්ත්‍ර ගෙන්වීමට පොලිසිය පියවර ගෙන ඇත.ඒ සඳහා අවට ගම්වාසීන්ගේද සහාය ලැබී ඇති බව පොලිසිය සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive