වසර 4කට පෙර ගොනු කළ පැමිණිල්ලකට සන්නස්ගලට නොතීසි


බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදු වන ආකාරයේ පොතක් මුද්‍රණය කිරීම හා බෙදා හැරීම සිදු කළේ යැයි චෝදනා මත නීතිපති උපදෙස් මත කන්දේ කපුගේ ශ්‍රීනාත් චතුරංග හා උපුල් ශාන්ත සන්නස්ගල යන අය සැකකරුවන් ලෙස නම් කර ඔවුන්ට ලබන මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (අප්‍රේල් 29) නොතීසි නිකුත් කළේ ය.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් පොතක් මුද්‍රණය කරමින් එය බෙදා හැරීම මගින් බුදු දහමට අපකීර්තියක් හා බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට අපකීර්තියක් සිදුවී ඇති බවට 2018 අගෝස්තු මස 20 වන දින එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශය අධිකරණය හමුවේ වාර්තා කළේ ය.

එම විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එහි උදෘත නීතිපතිවරයා වෙත උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කළ අතර ඒ අනුව සැකකරුවන් විසින් වරදක් සිදුකර ඇති බවට අනාවරණය වන බැවින් කන්දේ කපුගේ ශ්‍රීනාත් චතුරංග හා උපුල් ශාන්ත සන්නස්ගල යන අය නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) (ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන ආදිය සිදු කිරීම) සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලෙසට නීතිපති උපදෙස් ලැබී ඇති බව අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශය අධිකරණය හමුවේ පැවසීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ලබන මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි නිකුත් කළේ ය.

Gossip Lanka Hot News Previous News Archive