උණ්ඩියල් හා හවාලා ක්‍රමවලින් රට සල්ලි එවීමට මහ බැංකුවෙන් වැට (VIDEO)


බැංකු ක්‍රමයට පිටතින් විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවර ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 29) පැවති මාධ්‍ය හමුවකදී ය.

උණ්ඩියල් සහ හවාලා යන ක්‍රම ඔස්සේ එලෙස විදේශ විනිමය හුවමාරු වන බව ත් එලෙස හුවමාරු වන විදේශ විනිමය අත්‍යවශ්‍ය නොවන ආනයනය සඳහා වැය කරන බවට හඳුනාගෙන ඇති බව ත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, එම මුදල් බැංකු ක්‍රමය වෙත නැවත ගෙන්වා ගැනීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, එහි ප්‍රථම පියවර ලෙස මුදල් අමාත්‍යංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කරන බව ය.

මේ අතර, රටට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය උපයන සියලු ම කර්මාන්ත හා සේවා සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, පාලනයකට යටත්ව සෘජුව ආනයනය කිරීමට එම සමාගම් විසින් උපයා ගනු ලබන ඩොලර් ප්‍රතිශතයක් වැය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා මහ බැංකුව සකසා දී ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මෙම ප්‍රතිලාභ අපනයනය ඉලක්ක කර ගත් ඇඟළුම්, නිමි භාණ්ඩ ආදී නිෂ්පාදන කටයුතුවල යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සඳහා හිමි වන අතර ඔවුන් සිය නිෂ්පාදන අපනයනය කර උපයා ගන්නා ඩොලර් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය සඳහා සෘජුව භාවිත කිරීමට ඒ අනුව අවස්ථාව සැලසෙනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive