කුකුළා මුදලාලි ආයෙම ඇවිත්


කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?

මේ දවස්වල රෝහලත් නිවෙසත් අතර මාරුවෙන් මාරුවට ජීවිතය ගෙවෙනවා. රෝහලේ නේවාසිකව ටික දවසක් ප්‍රතිකාර කරනවා ඉන් පසුව වෛද්‍යවරු නිවෙසට ගොස් ටික දවසක් විවේකීව සිටින්න කියලා නිර්දේශ කළ විට නිවෙසට එනවා. වෛද්‍ය උපදෙස් අනුව තමයි මේ දවස්වල ජීවත් වන්නේ. 

මට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ඉතාම කැපවීමෙන් ආදරයෙන් දෙවිවරු වගේ ප්‍රතිකාර කරනවා. අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය රෝගීන්ට ඉතාමත් මහන්සිවෙලා කැපවීමෙන් ප්‍රතිකාර කටයුතු කරනවා. මම අද යම් ගුණාත්මක තත්ත්වයක සිටිනවා නම් එයට හේතුව ඔවුන්ගේ දක්ෂතාව, කරුණාව සහ සැලකීමයි. ඔවුන්ට මගේ ආදරණීය ස්තූතිය පළකරන්න මම කැමැතියි.

මේ වන විට ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වෙලාද?

මුලින් තිබුණට වඩා මේ වන විට යහපත් අතට හැරී තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබමින් මම කෙමෙන් කෙමෙන් සුව අතට පත්වෙමින් සිටිනවා. 

නැවත රංගන කටයුතුවලට සම්බන්ධ වුණා කියලා අපට ආරංචි වුණා. ඒක ඇත්තද?

මම මගේ වෛද්‍යතුමාගෙන් අවසර ගෙන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ දර්ශන කිහිපයකට පමණක් සම්බන්ධ වුණා. නාඩගම්කාරයෝ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා සහ නිෂ්පාදකවරයා ඉතාම ළෙන්ගතු ඉල්ලීමක් කළා එහි දර්ශන වාර කිහිපයකට හෝ සම්බන්ධ වෙන්න කියලා. එම නිසා එයට සම්බන්ධ වුණා. නමුත් අලුතෙන් කතා කරපු කිසිම නිර්මාණයක් භාර ගත්තේ නැහැ. 

කුකුළා මුදලාලිගේ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ප්‍රතිචාර ලැබුණා. ඒ ගැනත් කතා කරමු?

කතාව ඇතුළේ සරා වීරයා වන විට කුකුළා මුදලාලි තමයි දුෂ්ටයා. නමුත් මේ දුෂ්ටයාට මිනිසුන් තුළ පොඩි ආදරයක් ඇති වුණා. මොකද මේ දුෂ්ටයා ඇතුළේ අධ්‍යක්ෂවරයාගේ කැමැත්තත් ඇතිව මම පොඩි හාස්‍යයක් ගොඩනඟා ගත්තා. ඒ නිසාම වෙනත් දුෂ්ටයන් කෙරෙහි ඇතිවන වෛරය සහ අකැමැත්ත කුකුළා මුදලාලි වෙත එල්ල වුණේ නැහැ. මම අසනීප වීමෙන් පසු රූගත කිරීම්වලට සම්බන්ධ වීම නතර කළා. කුකුළා මුදලාලිගේ අඩුව ප්‍රේක්ෂකයන්ට ඉතාම තදින් දැනෙන බව මට තේරුම් ගියා. සාමාන්‍යයෙන් වීරයා නැති වුණාමයි එහෙම දැනෙන්නේ. ඔවුන් දුෂ්ටයාටත් ආදරය කළ බවක් මට තේරුණා. ගිරිරාජ් කියන මට මිනිසුන් ආදරෙයි කියලා මම දන්නවා. ඒ වගේම කුකුළා මුදලාලිටත් ඒ හා බැ¾දුණු ආදරයක් ප්‍රේක්ෂකයන් තුළ ඇති වී තිබෙනවා.

බොහෝ ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය ජාලා තුළින් ඔබට ආශීර්වාද කර තිබුණා නේද?

ඔව්. මට ඒ ගැන ඉතාම සතුටුයි. මම පෞද්ගලිකව දන්න පිරිසක් සහ පෞද්ගලිකව නොදන්න බොහෝ පිරිස් සමාජ මාධ්‍ය ජාලා හරහා මට සෙත් පතමින් ආශීර්වාද කර තිබුණා. මාව පෞද්ගලිකව හඳුන්නන්නේ නැති වුවත් කලාකරුවෙක් සහ ප්‍රේක්ෂකයන් අතර තිබෙන සම්බන්ධතාව නිසාම ඔවුන් එලෙස ආශීර්වාද කරමින් සෙත් පතනවා යැයි කියන්නේම එතැන විශාල ආදරයක්, විශාල බැඳීමක් තිබෙනවා. මම ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් කලාකරුවෙක් කියලා ඒ ආදරය තුළින් මට වැටහුණා. 

එපමණක් නොවෙයි, ඇත්ත වශයෙන්ම කියනවා නම් පිළිකා රෝගයට ගොදුරු වූ විට ප්‍රතිකාර සඳහා නොසිතූ මුදලක් වැය වෙනවා.  පිටරටවල්වල සිටින මගේ යහළු මිත්‍රාදීන් මෙන්ම තවත් මම නොදන්නා බොහෝ පිරිස් මට ආර්ථික වශයෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා.

යහළුවන් හරහා මගේ බැංකු ගිණුම් අංකය සොයාගෙන මූල්‍යමය වශයෙන් උපකාර කළා. ඔවුන්ගේ සහයෝගය මට විශාල ශක්තියක් වුණා. ඒ සෑම දෙනාටම මගේ ස්තූතිය සහ ගෞරවය පුද කර සිටිනවා. මට නැවතත් ක්‍ෂේත්‍රයට පිවිසෙන්න හැකියාව ලැබෙනවා නම් ලැබෙන්නේ ඔවුන්ගේ ඒ ආදරය සහයෝගය නිසා.

මෙවැනි අසනීප තත්ත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වගේම මානසිකව ශක්තිමත් වීමත් අතිශය වැදගත් නේද?

ඔව්, අනිවාර්යයෙන්ම. මගේ මානසිකත්වය හැදුවේ මගේ පවුලේ අය. මගේ බිරිය, දියණියන් දෙදෙනා සහ බෑනණුවන් දෙදෙනා මට මානසිකව වැටෙන්න දුන්නේ නැහැ. ඔවුන් මා ඉදිරියේ දුක් වුණේ නැහැ. එක ක¾දුළක්වත් හෙළුවේ නැහැ. ඔවුන් නිතරම මාව සිනහ ගන්වමින් සතුටින් තැබුවා. අසනීප වූ දවසේ සිට මේ දක්වා මාස පහක් පමණ මගේ බිරිය රෝහලේ නතර වෙලා මා සමඟම සිටියා. මගේ පවුල මහා පවුරක් වගේ මා වටා සිටියා.

ඔබේ චිත්‍රපටය වාර්තා තබමින් ඕස්ට්‍රේලියාවේ තිරගත වුණා. ඒ ගැනත් කතා කරමු?

ඔව්. ඕස්ට්‍රේලියාවේ මෙතෙක් පෙන්වූ සිංහල චිත්‍රපට අතරින් මගේ චිත්‍රපටය ආදායම් වාර්තා තබමින්, එක් දිනයක් තුළ ඕස්ට්‍රේලියාවේ වැඩිම දර්ශන වාර ගණනක් පෙන්වූ චිත්‍රපටය ලෙසත් වාර්තා තබා තිබුණා. මට විශාල සතුටක් දැනුණා. ඕස්ට්‍රේලියාවේ චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂකයන් දක්වපු ප්‍රතිචාර යූටියුබය හරහා මම දැක්කා. මගේ නිර්මාණය පිළිබඳව දැක්වූ ඒ අදහස් ගැන මට ඉතාම සතුටුයි. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය අර්බුදයකට ලක්වී තිබෙන කාලයක, විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන චිත්‍රපටය නරඹනවා කියන්නේ නිර්මාණකරුවන්ව දිරිගැන්වීමක්. ඒ වෙනුවෙන් ඔවුන්ට මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා.

අධ්‍යක්ෂවරයාගේ භූමිකාව සාර්ථක කරගන්න මෙතෙක් ඔබ පැමිණි ගමන්මඟ උපකාරී වූ ආකාරය ගැන සඳහන් කළොත්?

අධ්‍යක්ෂවරයෙක් වෙන්න මට මූලිකව උපකාරී වූයේ මා තුළ සිටි සහාය අධ්‍යක්ෂවරයා. සහාය අධ්‍යක්ෂවරයෙක් වීමට මුලින්ම අවස්ථාව සලසා දුන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා. කිසිම දෙයක් නොදැන සිටි මට තාක්ෂණික උපක්‍රම, සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ආකාරය ආදී සියල්ල පිළිබඳව දැනුවත් කරමින් ඔහු තමයි මගේ ගුරුවරයා වුණේ. බොහෝ විට මා අධ්‍යක්ෂණය කරන නිර්මාණවල පිටපත රචනා කරන්නේත් මා විසින්මයි. ඒ ආකාරයට සහාය අධ්‍යක්ෂවරයෙක් වීම තුළින් සහ මා තුළ තිබූ නිර්මාණාත්මක හැකියාවත් සමඟ අධ්‍යක්ෂවරයාගේ භූමිකාව සාර්ථක කරගන්න මට හැකිවුණා කියලා මම සිතනවා. 

පහසුයි කියලා බොහෝ දෙනෙක් සිතුවත් හාසේ‍යාත්පාදක රංගනය කියන්නේ බැරෑරුම් කාර්යයක් නේද?

ඔව්. මම සිතන විධියට හාසේ‍යාත්පාදක රංගනය කියන්නේ කෙනෙකුට උගන්වන්න පුළුවන් දෙයක් නොවෙයි. එය උපතින්ම එන දෙයක්. සාමාන්‍ය ජීවිතයේත් විහිළු තහළු කරමින් සතුටින් සිටින කෙනකුට පමණයි සාර්ථක හාසේ‍යාත්පාදක නළුවෙක් වෙන්න පුළුවන්. මා දන්න විධියට ජෝ අබේවික්‍රම, ෆ්‍රෙඩී සිල්වා, විජය නන්දසිරි, ජයලත් මනෝරත්න, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනවිරත්න ආදී රංගන ශිල්පීන් එවැනි අය. හාසේ‍යාත්පාදනය වැඩමුළු තුළින් උගන්වන්න බැහැ.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

ඉදිරි වැඩකටයුතු කිසිවක් තවම තීරණය කරලා නැහැ. මම සම්පූර්ණයෙන්ම සුවය ලැබීමෙන් පසුව තමයි එය තීරණය වෙන්නේ. මගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේද, මට මහන්සි වී වැඩකටයුතු කළ හැකි ද ආදිය ගැන සැලකිලිමත් වීමෙන් පසුව තමයි ඉදිරි වැඩකටයුතු පිළිබඳව තීරණය කරන්නේ. මූලිකවම මගේ අරමුණ සම්පූර්ණ සුවය ලැබීමයි. ඒ වගේම කලා කටයුතුවලට සම්බන්ධ වීමටත් ඉතාම සතුටින් බලාගෙන සිටිනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

Gossip Lanka Hot News Previous News Archive