රඹුක්කන යකානැටූ පොලිසියට චෝදනා පත්‍රයක්…


පොලිසියේ 7 ක් යතුරු පැදිවලටත් පහරදීලා 

රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයකදී තරුණයකු වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරයා, රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගෙන් විමර්ශන කණ්ඩායම් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.


මේ අතර පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මානව හිමිකම් කොමිසම හමුවේ කියා සිටියේ මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීමට වෙඩි තැබීමට තමන් කිසිම අවස්ථාවක උපදෙස් නොදුන් බවය.

රඹුක්කන නගරයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් විශාල පිරිසකගෙන් පොලිසිය මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ අතර පසුගියදා රඹුක්කන ප්‍රදේශයේදී ඇතිවූ විරෝධතාවයේදී යතුරුපැදිවලට මහජන දේපළවලට හානි කරමින් ක්‍රියා කළ පොලිස් නිලධාරීන් හත් දෙනකු සහ ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට පැමිණියේ යැයි සැකකරන තවත් පුද්ගලයින් හතර දෙනකු හඳුනා ගැනීම සඳහා මහජන සහාය ලබා දෙන ලෙස වින්දිතයින් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ මඩුල්ල ඉල්ලා සිටිති.

අදාළ සිදුවීමේදී යතුරුපැදිවලට පහරදී අලාභ හානි සිදු කිරීම් සහ මහජන දේපළවලට හානි සිදු කිරීම් රැසක් පිළිබඳව වාර්තාවී ඇති නිසා එම එක් එක් සිදුවීම් යටතේ මෙම පොලිස් නිලධාරීන් හත් දෙනාට සහ අනෙකුත් සැකකරුවන්ට වෙන වෙනම නීතිමය පියවර ගැනීමට මෙලෙස මහජන සහාය අපේක්‍ෂා කරන බව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් තෙන්නකෝන් සහ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න යන මහත්වරු “දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළහ.

එම පොලිස් නිලධාරීන් 7 දෙනා රඹුක්කන පොලිසියට අනුයුක්ත නිලධාරීන් නොවන බවට තොරතුරු වාර්තාවී ඇතැයි ද රංජිත් තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මෙම සැකකටයුතු පොලිස් නිලධාරීන් හත්දෙනා සහ සිද්ධියට සම්බන්ධ වූ අනෙක් සැකකරුවන් හතර දෙනා පිළිබඳ 0777791225 හෝ 077790000 යන දුරකථන අංකවලට වට්ස් ඇප් මගින් තොරතුරු ලබා දෙන ලෙස වින්දිතයින් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ මඩුල්ල මහ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

තොරතුරු දෙන අයගේ රාහස්‍යභාවය සුරක්ෂිත කරන බව එම නීතිඥ මඩුල්ල කියති.

හේමන්ත රන්දුණු, සුජීව තත්සර

Gossip Lanka Hot News Previous News Archive