හෙට දිවුරුම් දෙන නව කැබිනට්‌ටුවෙත් අගමැති මහින්දමයි

අන්තර්පාලන රජයක් පිහිටුවීම පිළිබඳව ආණ්ඩුවෙන් ඉවත්වූ පක්ෂ 11 යෝජනා ක්‍රියාත්මකවීමේ සාකච්ඡා අතරමග නැවතීමත් සමඟ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේ නව කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා ලෙස තවදුරටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමටත් හිටපු ඇමැතිවරුන් වන චමල්, බැසිල්, නාමල්, ශෂීන්ද්‍ර යන රාජපක්ෂවරුන් නව කැබිනට් මණ්ඩලයට පත් නොකිරීමටත් තීරණය කර ඇත.
ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් පැවතීම නිසා විපක්ෂය තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113ක් සිටින බවට පෙන්වා දෙන්නේ නම් ජනාධිපතිවරයා ඔවුන් වෙත ආණ්ඩුව භාරදීමට කැමති බව ප්‍රකාශ කර ඇතත්, එවැනි සූදානමක් විපක්ෂයේ නොමැති බව පෙනීයන නිසා නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට තීරණය වී ඇත.

රට වැටී තිබෙන ආර්ථික අපහසුතාවයෙන් යම්තාක් දුරට ගොඩඒමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබාගතයුතු තත්ත්වයේ පවතින නිසා, එම ආයතනයට යාමට පෙර ස්ථාවර රජයක් පවතින බවට තහවුරු කිරීම සඳහා නව කැබිනට් මණ්ඩලය පත්කිරීම අරමුණවී ඇත.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය හෙට (18 දා) දිවුරුම් දීම බොහෝ දුරට සිදුවිය හැකි බවත් එම කැබිනට් මණ්ඩලය ව්‍යස්ථාවට අනුව කැබිනට් ඇමැතිවරු 30කට සීමා කිරීමටත් තීරණය වී ඇත. නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී මෙතෙක් කැබිනට් ඇමැතිකම් දැරූ කිහිපදෙනෙකු වෙනස් කිරීමටත් නවකයින් කිහිප දෙනෙක් පත්කිරීමටත් අදහස් කර ඇත.

ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 කණ්ඩායම අගමැතිවරයා ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉවත්විය යුතු බවට ප්‍රකාශ කර ඇතත් අගමැතිවරයා වෙනස්කර පොදුජන පෙරමුණේ වෙනත් අයෙකු අගමැති කරනු ලැබුවහොත් පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් විපක්ෂයට යන බවත් එම නිසා තවදුරටත් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බවත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කිරීම නිසා අගමැති වෙනස් කිරීමේ ගැටලුවක් මතුවී ඇත.

මේ රට අර්බුදයකට පත්ව තිබුණත් හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ ගෝලයන් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලිබෑමේ දැඩි උත්සාහයක නියැළෙමින් සිටිනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

මේ වනවිටත් තමන් සමඟ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එකොළහේ නියෝජිතයින් හමුවට යන එම ගෝලයන් විවිධ වරදාන, වරප්‍රසාද අල්ලස් ලෙස පිරිනමමින් සිටින බව ද වීරවංශ මහතා කියා සිටියේය.

ඉකුත් දා කොළඹදී පක්ෂ 11 නායකයන් සමග පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී සගයකුගේ නිවසට අලුයම දෙකට ගොස් පෙරවරු 8.00 වනතෙක් සාකච්ඡා කර ඇතැයිද කීය.

මේ අතර යළි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නම් රාජ්‍ය ඇමැතිවරයකු ලෙස පත්කරනු ලැබූ ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කළ යුතු බව ද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා, ප්‍රභාත් විතාන (දිවයින)

Gossip Lanka Hot News Previous News Archive