'ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව' පොලිසියෙන් ඉවත් කරයි (VIDEO)


 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවට සහය පළ කරමින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවත්වූ විරෝධාතාව සඳහා ඉදි කර තිබූ කූඩාරමක් පොලිසිය විසින් අද (අප්‍රේල් 17) දින උදසෑන ඉවත් කිරීමට යාමේදී දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

"Galle Face තනි නොකරමු" යන තේමාව යටතේ ගාල්ලේ සිටින තරුණ තරුණියන්, වෘත්තිකයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඉකුත් 15 වන දා සිට මෙම අඛණ්ඩ විරෝධතාව ආරම්භ කළේ ය.

විරෝධතාකරුවන් එය 'ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව' ලෙස නම් කර ඇත.වාර්තාකරු සඳහන් කළේ, ගාල්ල මහින්ද විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර 17 සහ 18 යන දිනවල පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගය හේතුවෙන් විරෝධතා භුමියේ ඉදිකොට ඇති තාවකාලික කූඩාරම ඉවත් කරගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් පොලිසිය ඉල්ලා සිට ඇති බව ය.

එහිදී විරෝධතාකරුවන් ඒ සඳහා එකඟතාව පළ නොකිරීම හේතුවෙන් පොලිසිය විසින් විරෝධතා භුමියේ ඉදිකොට තිබූ තාවකාලික කූඩාරම ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

එම අවස්ථාවේදී විරෝධතාකරුවන්ට සහය ලබා දීම සඳහා නීතිඥ කණ්ඩායමක් ද පැමිණ ඇති අතර එම නීතිඥ කණ්ඩායම පොලිස් නිලධාරීන් සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇත.


Gossip Lanka Hot News Previous News Archive