පාර්ලිමේන්තුවට නොගිය එක හොඳයි කියලා හිතනවා - Oshadhi Hewamadduma


කාලයකට පසුව රංගනයෙන් හමුවන ඕෂධි එක්ක අපි  විස්තර කතා කරමු.

ඕෂධි, කොහොමද ජීවිතේ?

මේ දිනවල ටිකක් විතර කාර්යබහුලයි, අවුරුදු උත්සව සහ ඒ හා සම්බන්ධවූ වැඩසටහන් නිසා.

ඒ ගැන විස්තර කළොත්?

සිංහල අවුරුදු කාලයට විකාශය කරවීම වෙනුවෙන්, කලාකරුවෝ එකතු කරගෙන රූපවාහිනී නාලිකා වලින් අවුරුදු උත්සව සංවිධානය කරනවනෙ. ඉතින් අපි ඒවා බොහොම ගෞරවයෙන් බාර අරගෙන, මම පවුලේ අයත් එක්ක ඒවාට සහභාගී වෙනවා.

ඕෂධිගෙ වෘත්තිය මොකක්ද එතකොට? මොකද රංගනයෙන් හමුවන්නෙ ඉතාම කලාතුරකින්?

මම ව්‍යාපාර කීපයක් කරගෙන යනවා. විශේෂයෙන්ම මගේ සැමියාගෙ කාබනික පොහොර ව්‍යාපෘතියට උදවු කරනවා. ඔසුපැන් ව්‍යාපෘතියක් මම කරගෙන යනවා. ඒක කරන්නෙ සමාජ සත්කාරයක් විදියටයි. ඒ දේ එක්ක කාර්යබහුල වුණා. ඒ වගේම පහුගිය කාලයේදී නම් දේශපාලන කටයුතුවල නියැලී සිටි නිසා කලා කටයුතුවලින් ඈත්වෙලා හිටියෙ.

දේශපාලනය ගැන ඔබ කිව්ව නිසා අපි ඒ ගැනත් කතා කරමු, අදටත් ක්‍රියාකාරීව දේශපාලනයෙ නියැලෙනවද?

දැන් නම් සම්පූර්ණයෙන්ම වාගේ දේශපාලනයෙන් අක්‍රීය වෙලා ඉන්නෙ. ඒකට හේතුව යම් යම් කළකිරීම් නිසයි. රටට යහපතක් බලාපොරොත්තුව තමයි අපි මේ ආණ්ඩුව පත්කරන්න සහයෝග ලබාදුන්නෙ. මොකද මෙච්චර කාලයකට පක්ෂයකට සහාය නොදී සිටියත් රටට හොඳක් කරාවි කියන අරමුණ තිබුණ නිසා දේශපාලන ක්ෂේත්‍රයට ආවෙ. ඒකයි අපි උදවු කළේ. ඒත් මිනිස්සුන්ට කිසිම යහපතක් නැහැ. අනෙක අපට දේශපාලනය කරලා හම්බ කරගන්න ඕනෑ නැහැ, ඒත් අපි නියැලෙන වෘත්තියෙන් අපට හරිහම්බ කරන්න රටේ යම්කිසි වැඩපිළිවෙළක් තියෙන්න එපායැ. ඒ කිසිම දෙයක් නැති ගාණට අපි ඔක්කෝම වැටිලා ඉවරනෙ.

කොහොමටත්, ඡන්දයෙන් පරාජය වීමත් එක්ක නෙවෙයිද ඔබ කළකිරීමට පත්වුණේ? මොකද ඒ ඡන්ද සටනේදිත් ඔබ හුදෙකලා වුණා නේද?

අනිවාර්යෙන්ම එහෙම දෙයක් වුණා. ලංකාවේ දේශපාලනයට එන බොහෝ කාන්තාවන්ට ඒක එහෙම වෙනවා. ලංකාවේ කාන්තාවක් දේශපාලනයට එනකොට පහර ගහන්න ඉන්න පිරිස වැඩියි. ඒ නිසා ඇයට තනියම සටන් කරන්න වෙනවා. පිය උරුමයෙන් හෝ සැමියාගේ උරුමය රැගෙන එන අයට ඒ ස්වභාවය ටිකක් වෙනස් වෙනවා. ඕක තමයි මටත් වුණේ. මගේ කැම්පේන් එකේදි මම තනිවුණා. ඒත් ඒක මම ප්‍රශ්නයක් කරගත්තෙ නැහැ. මොකද දේශපාලනය කියන්නෙම මඩ කන්න බලාගෙන ආයුතු ක්ෂේත්‍රයක්. එහෙම මඩ කන්න බැරි නම් නෑවිත් ඉන්නට ඕනෑ. ඇත්තටම මම පාර්ලිමේන්තුවට තේරිලා ගියා නම්, මීටත් වඩා අසරණ වෙන්න තිබුණා. ඒ නිසා දැන් නම්, රටේ වර්තමාන තත්ත්වය ගැන හිතනකොට නොගිය එකම හොඳයි කියලා හිතනවා. පාර්ලිමේන්තුවට ගියොත් ජනතාවට සේවයක් කිරීමේ වටපිටාව තියෙන්නට ඕනෑ. එහෙම නැතුව නිකම්ම පාර්ලිමේන්තුවේ සිටීම ඵලක් නැහැ.

ඕෂධී ගෙ ගෙදර ජීවිතය ගැන කතා කරමු? කොහොමද ගෙදර ජීවිතය?

අතිශ්‍යයින්ම කාර්යබහුලයි. පුතා දැන් ඉගෙන ගන්නෙ පහ වසරේ. එයා පොත පතේ වැඩවලට අමතරව බොහෝ බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඒ නිසා එයා එක්ක සතියේ දවස් පහේම මටත් ඉස්කෝලෙට යන්න වෙනවා. එයා ක්‍රිකට්, බැඩ්මින්ටන්, කරාටේ ඔය වගේ බාහිර ක්‍රීඩා බොහෝමයක් කරනවා. එයා ආසයි කියන ඒවාට අපි සහයෝගය ලබාදෙනවා. ඉතින් මහත්තයාට ඒ ගැන බලන්න වෙලාව මදි නිසා මම ඒ ගැන සොයා බලනවා. අම්මා කෙනෙක් විදියට ඒ වගකීම මම කළ යුතුමයි. දුවට දැන් අවුරුදු තුනහමාරක් වෙනවා. ඉතින් දරුවන්ගෙ වැඩ තමයි මට.

කොහොමද ගෙවී ගිය ඕෂධිගෙ ජීවිතය දිහා ආපහු බලන්නෙ?

සතුටුයි, මේ වසරට අපි විවාහ වෙලා අවුරුදු 15 ක් වෙනවා. මට මාව තේරුම් ගන්න හොඳ සැමියකු ලැබීම නිසා ජීවිතය සැහැල්ලු වුණා. අනෙක මම විවාහ වුනේ අවුරුදු 22 දී. ජනප්‍රියම නිළිය සම්මානය ලබාගෙන මාසයක්වත් ගිහින් තිබුණෙ නැහැ. ඇයි ඔයා මෙච්චර ඉක්මණට විවාහ වෙන්නෙ කියලා එදා හැමෝම මගෙන් ඇහුවා. අපරාදෙනෙ කියලත් සමහර අය කිව්වා. ඒත් මම හරි සතුටු වෙන්නෙ මගෙන් රැල්ලක් පටන් ගත්තා අපේ ෆීල්ඩ් එකේ අය තාරුණ්‍යයේදිම විවාහ වීමේ. නැත්නම් ඊට කලින් තිබුණෙ තිහ පහුවෙලා විවාහ වීමේ ස්වභාවයක්. මම ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි විවාහය කියන මාතෘකාවටත් වඩා විවාහයට හොඳම කෙනා තෝරාගැනීම. හොඳ කෙනෙක් හම්බ නොවුණා නම්, ඒ විවාහය සුන්දර නැහැ. ඒත් මගේ විවාහය සුන්දර එකක් වුණා. ඒ වගේම එතැනින් එහාට, මම විවාහක රූ රැජිණ කිරුළක් දිනුවා, දේශපාලනයට යොමුවුණා. සමාජ සේවාවලට යොමුවුණා. ව්‍යාපාරවලට යොමුවුණා. අඩි ගාණක් මම ඉස්සරාහට ගියේ විවාහයෙන් පස්සෙ. හැබැයි කලාව අත්හැරියෙත් නැහැ. බොහෝදෙනෙක් ඉක්මණට විවාහ වෙන්න බය වෙන්නෙ ජීවිතය එක් තැනකට සීමා වන නිසයි.

ඕෂධී කවුද? මොකක්ද ජීවිතයේ පරමාර්ථය? රටේ මෙච්චර ප්‍රශ්න තිබියදී කලාකරුවො නිහඬයි වගේනෙ?

මම නම් එහෙම නිහඬ නැහැ, මගේ පරමාර්ථය වුනේම, අනෙක් බොහෝදෙනාගේ වගේ, රටට යහපතක් වෙනවා දකින්නයි. අද මගේ ෆේස්බුක් පිටුව ඔස්සේ හෝ මම විවේචනය කළයුතු දේ විවේචනය කරනවා. සද්ද වහගෙන නිකම් ඉන්නෙ නැහැ. හැබැයි ලංකාවේ එකමුතුකම කියන දේ ගත්තොත් කොතැනකදිවත් එකමුතුකම දකින්න නැහැ. කලාව ඇතුළෙදිත් එහෙමයි. උදාහරණයකට ගත්තොත් එදා මට ඡන්දෙට ටිකට් එක ලැබුණු වෙලේ මට සුබපතන්න හිටියෙ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක්. හැබැයි මම ඒ විදියෙ කෙනෙක් නෙවෙයි. අපේ කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් ඇත්තටම සතුටුවන කෙනෙක්.

අපි මේ පිළිසඳර පටන්ගත්තෙ සිහින ගෙනෙන කුමාරියේ ෂෙරීන්ගෙ චරිතයෙන්, ඒකෙන්ම මේ කතාබහට සමුදෙමු? ෂෙරීන් ගැන විස්තරයක් කරමු?

ෂෙරීන් කියන්නෙ එංගලන්තයේ හැදීවැඩුණු චරිතයක්. එංගලන්තයෙ විදියට ජීවත්වන කෙනෙක්. තරුණ කාලයේදිම ඇය විවාහ වුණේ තමුන්ට වඩා වයසින් වැඩි කෙනෙක් එක්ක. සල්ලි තණ්හාවට සල්ලිකාරයෙක් එක්ක විවාහ වූ කෙනෙක්. මේ චරිතය මම රඟපාන වෙනස්ම චරිතයක්. කතා කරන ශෛලිය පවා වෙනස්. චාර්ලිස් චාර්ලිස් කියලා සැමියා අමතන විදිය වෙනස්. මේ වෙනස නිසා මට ලැබෙන ප්‍රතිචාරත් හරිම හොඳයි. සතුටුයි කාලයකට පසුව වෙනස් චරිතයකට දායක වීමට ලැබීම ගැන.

සඳුන් ගමගේ


Gossip Lanka Hot News Previous News Archive