සපත්තු ජෝඩුව 3000යි, පොත් බෑගයක් 3000යි


පොත්පත් – නිල ඇඳුම් මිලත් නැඟලා දරුවන් පාසල් යැවීමත් මහ බරක්

රුපියල් එක්දහස් පන්සීයට තිබූ පාසල් සපත්තු ජෝඩුවක මිල රුපියල් තුන්දහසක් දක්වා ඉහළ නංවා ඇතැයි සමස්ත ලංකා කුඩා හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා  ඊයේ (26 වැනිදා) පැවැසීය.

මීට අමතරව රුපියල් 1500ට තිබූ පාසල් බෑගය මේ වනවිට රුපියල් 3000ක් දක්වා මිල වැඩිකර ඇතැයි ද හෙතෙම කීවේය.



පාසල් දරුවන් දෙතුන් දෙනකු සිටින දෙමාපිය මේ තත්ත්වය නිසා අන්ත අසරණ වී ඇතැයි පවසන නිරුක්‍ෂ කුමාර මහතා තවදුරටත් මෙසේද කියා සිටියේය.

අද දරුවන් පාසල් යවන්න බැරි තත්ත්වයට දෙමාපියන් අසණවෙලා. රටේ නිසි ආර්ථික කළමනාකරණයක් නැති කමින් හැම බඩුවකම මිල ඉහළ ගිහින්. සමහර වෙළෙඳුන් හිතෙන හිතෙන මුදල් අය කරමින් පාරිභෝගිකයන් හූරාගෙන කනවා. පාරිභෝගික අධිකාරිය බුදි. මේවා ගැන සොයා බලන්නේ නැහැ.

රුපියල් 20ට තිබුණු බ්‍රිසිල්බෝඩ් එක රුපියල් 50 දක්වා මිල වැඩි කරලා. රුපියල් 20තිබූ ඩිමයි කොලය රුපියල් 50ට නැඟලා. රුපියල් 3500ට ගත්තු පොත් ලැයිස්තුව ගන්න දැන් රුපියල් 6000ක් විතර වැය කරන්න වෙලා. පාසල් දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලක දෙමාපියෝ කොහොමද මේ වියදම් දරා ගන්නේ.

රුපියල් 400ට තිබූ ප්ලාස්ටික් වතුර බෝතලක් රුපියල් 900ට නැඟලා. පාසල් යුනිෆෝම් එකක් මහන්න රෙදි යාර තුනහමාරකට මීට පෙර වැයවුණේ රුපියල් 1600යි. ඒත් දැන් පාසල් යුනිෆෝම් එකක් මහන්න රුපියල් 2500ක් වැයකරන්න වෙලා තියෙනවා.

මේකට හේතුව සුදු රෙදි බොත්නම් නූල් ඇතුළු අමුද්‍රව්‍ය සඳහා ඉතා අධික පිරිවැයක් දරන්න සිදුවෙලා තියෙනවා. අභ්‍යාස පොත්වල මිලත් ඉහළ නංවලා තිබෙනවා. රුපියල් 25ට තිබුණු පිටු 40 අභ්‍යාස පොතක මිල මේ වනවිට රුපියල් 60ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. රුපියල් 50ට තිබූ පිටු 80 අභ්‍යාස පොතක් දැන් රුපියල් 100 යි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Gossip Lanka Hot News Previous News Archive