ළඟ තබා ගත හැකි උපරිමය ඩොලර් 10,000යි


රැස් කර තබා ගත හැකි ඩොලර් 15,000 සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට අදාළ නව නීති හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැරසෙයි.

මේ නිසා තමන් සතුව දැනට පවතින ඩොලර් සති 2ක් ඇතුළත බැංකු පද්ධතියට එක් කරන ලෙස ඩොලර් රැස් කරගෙන සිටින්නන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා සිටියි.

කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (19) දහවල් පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අධිපතිවරයා මේ ඉල්ලීම කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා මෙසේ ද කීය.

යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් එක්සත් ජනපද ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණයේ වටිනාකම පිළිබඳ සිතා බලමින් ඩොලර් රැස් කරගෙන සිටින්නේ නම් ඉතා ඉක්මනින් ඒවා බැංකු පද්ධතියට එක් කිරීමට සුදුසුම වේලාව මේ අවස්ථාවයි.

දිනෙන් දින ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වීමේ පැවති ප්‍රවණතාව මේ වන විට අඩු වෙමින් පවතින නිසා ඩොලර් රැස් කරන්නන්ට වැඩි වටිනාකමක් ගැනීමට නම් ඉක්මනින් ඒවා බැංකු පද්ධතියට එක් කළ යුතුයි.

යම් පුද්ගලයකුට තමන් සතුව මාස 3ක් දක්වා ළඟ තබා ගත හැක්කේ ඩොලර් 15,000ක ප්‍රමාණයකි. මේ ප්‍රමාණය ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට දැනටමත් යෝජනා වී ඇත. ඒ අනුව ඉදිරි සති 2 ඇතුළත තමන් සතුව පවතින ඩොලර් බැංකු පද්ධතියට එක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

Gossip Lanka Hot News Previous News Archive