සමගි ජන බලවේගයේ අසමගිය දුරදිග යයි


මැයි දින පෙළපාළියේදී සහ රැලියේදී අඩුපාඩු සිදුවූ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට එහි මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ඊයේ (03දා) සහභාගි වී නොමැති බව වාර්තා වේ.

ගයන්ත කරුණාතිලක, රෝහිණි කවිරත්න, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, හේෂා විතාන, චමින්ද විජේසිරි යන මන්ත්‍රිවරුන් පිරිසක් ඇතුළත් බවද වාර්තා වේ. එසේම මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ මන්ත්‍රිවරුන් කිහිපදෙනකු මැයි දින සංවිධාන කටයුතුවලට එරෙහිව අදහස් පළ කොට ඇති බවද සඳහන් වේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම මැයි දිනය පක්‍ෂයේ මැයි දිනය හුදු විවිධ පුද්ගලයන් පිම්බීමේ අරමුණින් සංවිධාන වූවක් බවය.

මැයි රැලියේ කතා 15ක් පමණ පැවැතියද පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකට එහිදී අවස්ථාවක් ලබාදී නොතිබීම ගැනද මෙහිදී අදහස් පළවී ඇත. සමගි ජන බලවේගයේ මැයි දින රැලි වේදිකාවේදී එහි සභාපති සරත් ෆොන්සේකා හා හරින් ප්‍රනාන්දු යන මන්ත්‍රිවරුන් අතර කතාබහක් ඇතිවූ අතර රැලියේ කථික ලැයිස්තුව සැකැසීමේදී කළ වරදක් නිසා එම සිදුවීම යැයි ෆොන්සේකා මහතා පසුව මාධ්‍යට පැවැසීය. එම අවුල පක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැන සිටි බවක් තමාට දැනුණේ යැයි කී හෙතෙම මේ සම්බන්ධයෙන් තමා සජිත් ප්‍රේමදාස මහතාට රාජකාරි මට්ටමින් පැමිණිලි කරන්නේ යැයිද පක්ෂ නායකයා හැටියට ඔහු ඒ ගැන නිසි පියවර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන්නේ යැයිද ඔහු කීය.

මැයි රැලිය කිහිපදෙනකුගේ ප්‍රතිරූප පුම්බා ගැනීම සඳහා සංවිධානය වී යැයිද පසුපෙළ මන්ත්‍රිවරු විශාල පිරිසක් ඊට විරෝධය පා එතැනින් පිටව ගියේ යැයි කී හෙතෙම පක්ෂයේ දෙවැනියා හැටියට ඊට මැදිහත්වීම තම යුතුකම යැයිද අවධාරණය කළේය.

හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේ සිට ගම්පහට පැමිණීම ප්‍රශ්නයක් නොවන්නේ යැයිද තමා සහ රන්ජන් රාමනායක කල්තියාම ගම්පහ ජනතාවගේ පිළිගැනීම සමගි ජන බලවේගයට නිර්මාණය කරදී අවසන් යැයිද ෆොන්සේකා මහතා කීය. කෙසේ වෙතත් ඉන් පසුව හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මාධ්‍යට අදහස් දක්වමින් කියා තිබුණේ පක්ෂයේ දෙවැනියා යනු මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර බවයි.

Gossip Lanka Hot News Previous News Archive