මූල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීමට සාකච්ඡා


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. කාර්ය මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ලෙස තමාගේ ප්‍රමුඛ අරමුණ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම බවය.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජපාන තනාපති, අමෙරිකාවේ තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සහ චීනය තනාපතිවරයා හමුවී මූලික සාකච්ඡා පවත්වා තිබුණි.

ඉන්දීය මහා කොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවට පවසා තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා යෑමට සූදානමින් සිටින බව ජපාන තානාපතිවරයා පෙන්වා දී තිබේ.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ද අගමැති වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද තානාපතිවරිය සමග සිදුකළ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගෙන ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

චීන තානාපතිවරයා ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා හමුවේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවය.

මේ අතර නැවත එක්සත් රාජධානියට පිටත්ව යෑමට පෙර බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරිය සමග ද අග්‍රාමාත්‍යවරයා දුරකථනය ඔස්සේ සාකච්ඡා කර තිබේ.

එහිදී ඇය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට නියමිත බවය.

මේ අතර හිටපු අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වෙනම හදිසි රැස්වීමක් ද පවත්වා තිබේ.

ඊට සහ සාගල රත්නායක මහතා ද එක්වී ඇත.

රට තුළ පවතින බලශක්ති අර්බුදය සහ මහජනතාව මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම හා ජනජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් පියවර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇත්තේ වජිර අබේවර්ධන හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ය.

ඛනිජතෙල් සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සාගල රත්නායක මහතා පත් කර තිබේ.

රුවන් විජේවර්ධන මහතා පත්කර ඇත්තේ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහාය.

පොහොර සැපයීම සම්බන්ධයෙන් සොයාබැලීම අකිල විරාජ් කාරියවසම් මහතාට පවරා තිබේ.

 

Gossip Lanka Hot News Previous News Archive