2023 නව වසරේ ලග්න පලාපල


මේෂ- වෘෂභ- මිථුන- සිංහ- තුලා - ධනු-ලග්න හිමියන්ට තනතුරු නිල තල වරප්‍රසාද සමග ජීවිතයේ නව සුභදායී වෙනසක් 

කටක- කන්‍යා-මකර- ලග්න හිමියන්ට අපේක්ෂා කළ සැලසුම් කළ වැඩ අතපසු වී අපේක්ෂා නොකළ දෙයකින් හදිසි වාසියක් 

වෘශ්චික - කුම්භ - මීන ලග්න හිමියන්ට සතුට සැනසුම අතරම දුක් දොම්නස්

2023 වසරේ උදාවත් සමග විශ්ව කේන්ද්‍ර සටහනෙහි යෙදී තිබෙන ග්‍රහ ගමනේ බල දුබලතාව පදනම්කොට සැසදීමේදී චිත්තකාරක සඳු හෙවත් මනසට අධිපති චන්ද්‍රයා රාහු සමග සංයෝගව සිටින අතර ශනි - සිකුරු සංයෝගයක් මකර රාශිය තුළ යෙදීමත් හා සෙසු ග්‍රහ පිහිටීම් ද පදනම් කොට බලන කල ජනතාව අසීරුතාවට පත්වෙන ජනමනස පීඩනයට ලක්වෙන තීන්දු තීරණ රාජ්‍ය පාලකයන් නොගතයුතු වසරක් හෙයින් ඔවුන්ගේ වගකීම් නිසි පරිදි ඉටුකිරීමට ඇප කැපවී ක්‍රියාකරන්න. නව අවුරුදු උදා කේන්ද්‍රයේ කිවි-ශනි සංයෝගව මකර රාශියේ පවතින හෙයින් ඇඟලුම් කර්මාන්තය, කෘෂිකර්මාන්තය, හස්ත කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, වැවිලි කර්මාන්තය සේම විශේෂයෙන් මිනිරන් කර්මාන්තය මෙන්ම භූගත ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත ආදී කර්මාන්ත නගා සිටුවීමට අවශ්‍ය සහන ලබාදීමටත් නැතහොත් රජයේ සෘජු මැදිහත්වීම යටතේම මෙම කර්මාන්ත පවත්වාගෙන යෑමටත් මෙම වසරේ සිට රජය ක්‍රියාකරන්නේ නම් ගතවූ වසරට සාපේක්ෂව එම කර්මාන්ත තුළ කැපීපෙනෙන වර්ධනයක් දියුණුවක් අත්පත්කර ගතහැකි වන්නේය. එසේම ගතවූ වසරට සාපේක්ෂව මෙම කර්මාන්ත මුල්කොට ආනයන අපනයන වෙළෙදාමෙහි වර්ධනයක් ද අත්පත්කර ගන්නට පිළිවන්කම ලැබේ. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට පසුබිම සැකසෙන බැවින් ඊට අදාළ නිසි සැලසුමක් සකස්කරගන්නේ නම් එමගින් සැලකියයුතු ආදායමක් රටට උපදවා ගැනීමටත් හැකි බව නව වසරේ ග්‍රහගමනින් පිළිබිඹු වේ.

කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ වර්ධනයක් හෙවත් වී ගොවිතැනෙහි මෙන්ම එළවළු පලතුරු වගාවන්හි ඵලදායිතාවේ වැඩිදියුණුවක් ඇතිවන්නේ නමුදු කාලගුණික විපර්යාස මෙන්ම ස්වභාවික හදිසි ආපදා විපත් සේම සූර්යාලෝකයේ හෙවත් හිරු කිරණේ හටගන්නා අධික සැර රශ්මි හේතුවෙන් වන හානිවලින් ඵලදාව ආරක්ෂාකරගැනීමටත් වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට කල්වේලා ඇතිව ගොවීන් සහ බලධාරීන් ක්‍රමෝපායන් සකසා ගන්නේනම් ලැබෙන ඵලදාවෙන් රටට ජනතාවට නිසිප්‍රයෝජන ගතහැකි වෙයි.   
මෙම 2023 වසරේ ජනවාරි 17 වැනි අඟහරුවාදා දිනයේදී සමාජය තුළ පෙරළිකාර සිදුවීම් රැසක් ඇතිකරන ග්‍රහලොව පෙරළිකාර ග්‍රහයෙක් වන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා වායෝගුණය අධිකම රාශිය වූ කුම්භ රාශියට පැමිණීම සිදුවෙයි.   


ආකාශ ගෝලයේ ක්‍රියාකාරී බලය සහමුලින්ම පතුරුවා හරින බලය කුම්භ රාශිය තුළ මතුවේ. එසේම වායු ප්‍රකෘතිගුණය අධිකම රාශිය මෙම කුම්භ රාශියයි. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ද වායෝගුණය අධිකවම ගැබ්ව ඇති ග්‍රහයා හෙයින් මෙම ග්‍රහ සංයෝගය කුම්භ රාශිය මත සංකලනය වීම පදනම් කොට මෙතෙක් යම් යම් පුද්ගලයන් තුළ යටිසිතේ කැකෑරෙමින් බලපැවති ආවේග පිටවී එය වායුවක් සේ ව්‍යාප්තවීම නැවතත් සිදුවෙයි. ජනතාව අසීරුතාවට පත්වෙන ජනමනස පීඩනයට ලක්වෙන අයුරින් නැවතත් ජීවන බරින් ජනතාව හෙම්බත් නොකිරීමට එනිසා පාලකයන් වගබලා ගතයුතු බවත් සිතට ගන්න. විශේෂයෙන් මෙම 2023 වසරේ ජනවාරි 17න් පසු පවතින රජයට මහත් කරදර ජන අරගල කැරලි කෝලාහල උද්ගතවන කාලයක් ද බැවින් මෙතැන් සිට 2024 අප්‍රේල් මාසය පසුවන තෙක්ම මෙන්, රටේ ජනතාව පීඩනයට පත්නොකිරීමට පාලනාධිකාරිය වගකීම් සහගතව ක්‍රියාකිරීමටත් වගබලා ගන්නේනම් කාගේ කාගෙත් සැනසීමට හේතුවේ. නැතහොත් සැනසීම පහවගොස් ආවේග ඉස්මතු වේ. එසේම පවතින රජයේ ඇතැම් වැඩකටයුතු ක්‍රියාකාරකම්වලට මෙන්ම රජය ඉදිරිපත්කරන සැලසුම් යෝජනාදියටත් විපක්ෂය නියෝජනය කරන පක්ෂ දේශපාලන නියෝජිතයන් මෙන්ම බහුජන සංවිධාන සභිකයන් ද එකම පොදු අරමුණකට මෙන් රජයට විරුද්ධව ඒකාබද්ධව නැගි සිටිනු ඇත.   


පොදුජන කාරක ග්‍රහයා මෙන්ම පොදුජන කාරක රාශීය වූ මෙම කුම්භ රාශිය තුළ ශනිගේ හැසිරීමත් සමගම මෙම වසරේ අප්‍රේල් 22 වැනිදා ගුරු ග්‍රහයා ද මේෂ රාශී ගතව රාහුට සංයෝගවීමත් හේතුකොටගෙන දේශපාලන රඟමඩලේ එකට වැඩකරන්නට සැළසුම් සකස්කරමින් සිටින එක් එක් දේශපාලන බලාධිකාරීන් එකට වැඩකිරීම කෙසේ වෙතත් ඔවුනොවුන්ට චෝදනා අපවාද එල්ලකරගනිමින් භේද භින්නවීම් ඇතිකරගන්නා ස්වරූපයක් පෙන්නුම් කරයි.   


මෙම හේතු කාරණාවන් ද මුල්කොට මෙම වසර තුළ තවත් දේශපාලන බල පෙරළියක් සිදුවන කාලවකවානුවක් ද වනු ඇත. පවතින රජයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද ජනමතය උරගා බැලීමට නැතහොත් ජනතා ඉල්ලීමට අවනතවීමක් ලෙසින් හෝ මැතිවරණයක් පැවැත්වීමට මෙම 2023 වසර තුළ අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. 2023 වසරේ මුල්මාස 3 ඇතුළත රජය දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කළත් ඒවා ක්‍රියාත්මක කිරීමට හෝ ඒවා පිළිපැදීමට තරම් නිලධාරීන් හා ජනීජනයා අවංක නොවනු ඇත. කෙසේ නමුත් මෙය බදු පැහැර හරින්නන්ගෙන් නිසියාකාරව බදු අයකරගැනීමට රජය සමත් වන වසරක් බවද කිවයුතුයි. පොදුවේ බලන කල රට කරවන බලධාරීන් රටේත් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා තම තමන්ගේ පෞද්ගලික සුබසිද්ධි පසෙකලා රට තුළ යම් යම් ප්‍රගතිශීලී දෑ සිදුකිරීමට වගබලා ගන්න. මෙම 2023 වසරේ ජූලි - අගෝස්තු මාස දෙකත් අප රටට මෙන්ම ලොව පුරා ආසියාතික රටවල් කිහිපයක ආර්ථිකයට බලපෑම් කරන ජන අරගල කැරලි කෝලාහල යුද බිය යුරෝපය තුළ උද්ගතවන කාලයක් ද බැවින් එම අභියෝගයන්ට ද අප රටටත් මුහුණ දෙන්ට සිදුවෙයි. පොදුවේ අප රටට ජනතාවට රජයට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පැනනගින විවිධ වූ අභියෝගයන්ට මෙම 2023 වසර තුළත් මුහුණ දෙන්නට සිදුවන වසරක් බව ද ග්‍රහ ගමනේ හැසිරීම් රටාව මත පෙන්නුම් කරන බැවින් රට කරවන්නට භාරගෙන සිටින නිසි බලධරයින් තම තමන්ගේ වගකීම හා සේවාවන් ලෝක සම්මතයට අනුව අවංකව කිරීමට කැපවන්න.
 
මේෂ   


නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරුවේ :-   


මේෂ ලග්නයට අනුව ලග්නාධිපති කුජ හා යෝග කාරක රවි ගුරු බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන නව වසර ශුභඵලදායී අයුරින් ගතවන්නේය ඔබගේ ආර්ථික රැකියා විවාහ ආදී කාර්යයන්හි වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. මිල මුදල් හෝ වෙනත් බාහිර ප්‍රශ්න ඇතිව අතහැර දමා තිබූ වැඩ නැවත ඇරඹීමට අවශ්‍ය කටයුතු පිළියෙල වේ. තම අදහසට අනුව වැඩ කටයුතු සිදුවේ. මෙය ඔබේ සිතට සැනසීම ගෙන දෙන වසරකි. සිතූ දෙය ඉෂ්ට කර ගැනීමට ඉඩ ලැබේ. විශේෂ දියුණුවකට මග පෑදෙනු ඇත.   
විශේෂයෙන් විවිධ තරාතිරමේ අයගේ උදව් උපකාර මත අනාගත දියුණුවට හේතු වන කාර්යයන් රැසක් ඔබට මෙම වසර තුළ සකස් වෙනු ඇත. එසේම මෙම වසරේ අවසන් මාස 7 පැහැදිලි සුභ පල රැසක් ගෙන දෙනු ඇත. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාභ ගෙන දෙනු ඇත. එසේම තනතුරු නිලතල වරප්‍රසාදයන්ද එම කාලය තුළ හිමිවන්නේය. මුල් මාස 05 යම් යම් අවහිර බාධා ප්‍රමාදතා මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් එහිදී ඔබ තම අරමුණු සැලසුම් කෙරෙහි දෙවරක් තෙවරක් සිත යොමා ඥානාන්විතව කටයුතු කරන්න.   


වෘෂභ
   


නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරුවේ :-   


වෘෂභ ලග්නයට අනුව නව වසරේ ග්‍රහ ගමන සුබා සුබ මිශ්‍ර අයුරින් පවතින නිසා උදාවන වසර ඔබේ වැඩ කටයුතු ක්‍රියාකාරකම් කෙරෙන්ද සුභ අසුභ මිශ්‍ර බවක් පෙන්නුම් කරයි. වෘත්තීය ජීවිතයෙහි බොහෝ වගකීම් ලැබෙනු ඇත. පාලකයෙකු හෝ නායකයෙකු වීමට ඔබ සුදුසුකම් සපුරා ඇත්නම් ඔබගේ එම කාර්යය සාර්ථකවනු ඇත. ඔබ ගැන අන්‍යයන් තුළ යහපත් ආකල්ප ඇති කරවීමට හිතකර වසර මෙයයි.   
පොදුවේ ඔබට මෙම වසරේ මුල් මාස 06 අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කිරීමට හැකියාව ඇත. එසේම රැකී රක්ෂා කටයුතුවලට මෙන්ම තම වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවලට බලපෑ අවහිර බාධා ප්‍රශ්නකාරී ස්වභාවයන් ද පහව යනු ඇත. අවසන් මාස 06 යම් යම් අවහිර බාධා ප්‍රමාද මධ්‍යයේ තම දෛනික කාර්ය කටයුතු කර ගැනීමට සිදුවෙයි. උසස්වීමට බාධාවන ආකාරයේ නොයෙක් අවහිරකම් මතු වේ. ගොවිතැන් කටයුතුවලටද ඉඩ කඩම්වල කටයුතුවලටද කරදර පාඩු සහ අවහිරකම් ඇති වේ. සමහරවිට ඒවායේ අලාභහානි හෝ පැටළුම් සිදුවෙයි. රැකී රක්ෂාවලට නොයෙක් ගැටලු පැටලිලි මතු වේ.   


මිථුන  


නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-   


මිථුන ලග්නයට අනුව උදාවන වසරේ ග්‍රහ ගමන ශුභදායී අයුරින් සැකසෙන්නේ 2023 අප්‍රේල්වලින් පසුවයි. එතෙක් කාලය ඔබට විවිධ අවහිර බාධා කලකිරීම් සහගත ගති මධ්‍යයේ සිය කාර්යය කටයුතු කරගෙන යාමටත් අරමුණු සැලසුම් ඉටුකර ගැනීමටත් සිදුවේ.   


පොදුවේ ඔබට උදාවන වසරේ අප්‍රේල් මස සිට පවත්නා තත්ත්වයේ සැලකිය යුතු යහපත් වෙනසක් බලාපොරොත්තු විය හැක. අනාගත සුභ සිද්ධිය උදෙසා කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවේ. තම වැඩ කටයුතුවල සමාජයේ උසස් පුද්ගලයන්ගේ ආධාර උපකාර පවා ලැබෙනු ඇත. රැකියා හෝ පදිංචියේ කිසියම් වෙනසක් මාරුවක් වුව සිදුවේ. වැඩිපුර දීර්ඝ ගමන් යෙදෙනු ඇත. අවබෝධ ඥානය ධාරණ ශක්තිය හොඳින් ගොඩනැගෙන වසරකි. දරු ලාභ නව පදවි ගෞරව මුදල් ලාභ ගෘහ ජීවිතයෙහි සතුටු සැප නීරෝග සුවය ලැබෙනු ඇත. කවර කටයුත්තක් හෝ තනිව නොකරන්න. සමූහ කටයුතු හිතකර වනු ඇත. අලුත් දැන හැඳුනුම්කම් ඇති වේ. පුළුල් දැක්මක් මතු වේ. ආත්මාර්ථකාමයෙන් බැහැරවන්න. සියලු අතින්ම සරුසාර වේ. නැතිවූ වස්තුව හෝ නැතිව ගිය රැකී රක්ෂා තනතුරු නැවත ලැබේ.   


කටක
 


නව වසරේ ග්‍රහ ගමන, ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-   


කටක ලග්නය අනුව උදාවන වසරේ ග්‍රහ ගමන මුල් මාස පහ තුළ ශුභදායී බැවින් එම කාලය තුළ සැලසුම් කරන බොහෝ වැඩ කටයුතු රැසක් සාර්ථක වනු ඇත. අධ්‍යාපන රැකියා විවාහ වැනි අංශවල ප්‍රගතියක් සිදුවේ. ඔබට මෙම වසරේ ආර්ථික ලාභ ගෙනදුන්නත් මිල මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට අපහසු තත්ත්වයක් ගෘහ ජීවිතයේදී ඇතිවේ. නිශ්ප්‍රයෝජන ගමන් බිමන් වලට මෙන්ම අනුන්ගේ වැඩ වලටත් ඔබගේ ධනය ශ්‍රමය වැයවන අවස්ථා යෙදේ. දැඩි ලෙස බලාපොරොත්තුව සිටි වැදගත් කාරණයක් ඉටුවීම ප්‍රමාදවේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමටත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටත් මෙම වසරේදී අවස්ථාව සැලසෙන්නේ ඒවාට කල් වෙලා ඇතිව නිසි සැලසුමකින් අධිෂ්ඨානශීලීව ක්‍රියාකිරීමෙන් පමණි. ඔබ පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් හා පුෂ-අස්ලිස යන නැකත්වලින් උපන් කෙනෙකු නම් සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලය ඇති කරයි.   


සමස්තයක් වශයෙන් ඔබට මෙම වසර තුළ භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට යම්යම් අවස්ථාවල අසනීප වැළඳේ. පවුලේ වැඩිහිටියෙකුට මාරකයක් හෝ කල්අල්ලන අසනීපයක් හෝ ඇතිවේ. ආශ්‍රය කරන්නන්ගෙන් බරපතළ ලෙස කරදර සිත්තැවුල් ඇතිවිය හැකියි. එසේම එකට වැඩ කරන සහකාරයන්ගෙන්ද නැතහොත් එකට ඉගෙනීම කරන අයගෙන් කරදර හා ඊර්ෂ්‍යාකාරකම්ද තම කටයුතුවලට බාධා කිරීම්ද ඇතිවෙන නිසා ඔබ මෙම වසර පුරාවටම මෙන් උපේක්ෂාවෙන් කටයුතු කරන්න.   


සිංහ   

 
නව වසරේ ග්‍රහ ගමන, ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-   


සිංහ ලග්න හිමියන්ට උදාවන නව වසර පැහැදිලි ශුභපල රැසක් ගොඩනැගෙනු ඇත. ග්‍රහ ගමන ශුභව යෙදෙන බැවින් ගත වූ වසරට වඩා උදාවන වසර යහපත්ව ගතවේ. අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ කටයුතුවල උනන්දුව වැඩිවෙයි. ඒ ඒ කාර්යයන් හිදී වගකිවයුත්තන්ගේ ප්‍රසාදයට ද ලක්වන අවස්ථා ගොඩනැගෙයි. මැයි මාසයේ සිට ආදායම් තත්ත්වයේ වර්ධනයක් ඇති කරයි.   


නැති වූ වස්තුව මෙන්ම නැති වී ගිය රැකියා තනතුරු පමා වූ වැඩ යනාදී බොහෝ කාර්යයන් නැවත ලැබේ. රැකියා අපේක්ෂිතයන්ගේ හා විවාහ අපේක්ෂිතයන්ගේ අපේක්ෂා ද ඉටුවීමත් මෙම නව වසරේදී සිදුවෙයි. තමාම යම් යම් දේ සොයා දැන ගැනීමෙන් උසස්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ගනී. තද උත්සාහයෙන් ආත්ම විස්වාසයෙන් කරන වැඩවලින් ප්‍රයෝජන ලැබේ. ප්‍රීතිමත් දුරබැහැර ගමන් වන්දනා ගමන් යාමට අවස්ථා උදාවේ. ඇතැම් විට විදෙස් ගමන් පවා යාමට ඉඩ ලැබේ. ගෙදරදී හෝ පිටදී ආගමික කටයුතුවලට වැඩිපුර මැදිහත්වන්නට පිළිවන්කමත් ලැබේ. ඉගෙනීමේ යෙදී සිටින ශිෂ්‍යයන්ට නම් මෙම වසරේදී අලුත් උසස් විෂයයන් හැදෑරීම්වලට අවස්ථාව උදාවේ. විභාගවලින් ජය අත්පත් වේ.   


කන්‍යා
   


නව වසරේ ග්‍රහ ගමන, ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-

 
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට නව වසරේ ග්‍රහ ගමන ශුභාශුභ මිශ්‍ර බැවින් දිවියේ තම සියලු වැඩ කටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ්‍ර බවක් ඇති කරයි.   


විශේෂයෙන් ඔබ සිතන සැලසුම් කරන වැඩ සියල්ලම සාර්ථක කර ගැනීම අපහසු වුවත් හොඳින් සිතා බලා සැලසුම් සහගතව කරන කාර්යය කටයුතු අභියෝගයට ලක් නොවේ. ඒවා කෙසේ හෝ සාර්ථක කර ගත හැකිවේ. රැකියාවේ ස්ථාන වෙනසක් අනාගත යහපත උදෙසා සැලසේ. පසුගිය කාලයේ අතපසු වූ වැඩ කටයුතු රාශියක් මෙම වසරේ දී නිමකර ගැනීමටත් අවස්ථාව සැකසේ. උත්පත්ති කේන්දරයේ සඳු ග්‍රහයා 6 වැනි 11 වැනි ස්ථානවල සිටි කන්‍යා ලග්න හිමියන්හට මෙවැනි සුබපල මධ්‍යයේම සිතට වදදෙන යම් යම් ප්‍රශ්න ඇතිවේ. ගෘහ ජීවිතයේ ගැටලු ශරීර සනීපය දුර්වලවීම්, හවුල් කටයුතුවල අර්බුද, සතුරු කරදර, රහස් කුමන්ත්‍රණ වැනි දේට මුහුණදෙන්ට සිදුවේ.   


පොදුවේ ඔබට මෙම නව වසර තුළ නැතිවී ගිය වස්තු පවා නැවත ලැබෙනු ඇත. සැප පහසුවට අවශ්‍ය බඩු ඇඳ පුටු වාහන ආදිය මිලදී ගැනීමට ද ඉඩ ලැබේ. නිතර හිතවතුන් සමග ගමන් යාමටද පහසුකම් සැලසේ. ආහාරපාන වර්ග ලැබේ. ණය ගනුදෙනුවලින් නිදහස හෝ ඇතැම් ණය ගනුදෙනුවකින් ලාභයක් ලැබේ.   


තුලා   


නව වසරේ ග්‍රහ ගමන, ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-   


තුලා ලග්නය පරිදි ද නව වසරේ ග්‍රහ ගමන බලයෙන් යුක්තව පවතින නිසා ඔබ සැලසුම් සහගතව සැලකිල්ලෙන් විමසිල්ලෙන් යුතුව තම අත්‍යවශ්‍ය කාර්යය කටයුතුවල නියුතු වන නිසා අරමුණු සැලසුම් බොහොමයක්ම මෙම නව වසර තුළ සාර්ථකත්වයට පත්වේ. එසේම ඔබට මෙම වසර තුළ වරින් වර තමා බලාපොරොත්තු නොවූ සැලසුම් නොකළ මාර්ගවලින් විවිධ ලාභ ප්‍රයෝජන සැලසෙයි. ආර්ථික හා රැකියා යන කාර්යන්හිද ශුභදායක වෙනස්කම් ඇති කරයි.   


බොහෝවිට ඔබ මෙම වසර තුළ සෑම කටයුත්තක්ම ඉතා වගකීමෙන් කරන සැටියක් පෙන්නුම් කරයි. අනුන් සමග එකට සහකාරකම් ඇතිව යම් යම් ව්‍යාපාර පටන් ගැනීමට ඉඩ ලැබේ. ඥානය වැඩිදියුණු වේ. යම් යම් ලාභ ප්‍රයෝජන ලැබෙන වසරකි. සිත් ප්‍රීතියට කටයුතු සැලසේ. ස්ත්‍රීන්ට පුරුෂයන්ගෙන්ද පුරුෂයන්ට ස්ත්‍රීන්ගෙන්ද ලාභ ප්‍රයෝජන ලැබේ. ප්‍රීතිමත් සමාගම් පැවැත්වීමට ඉඩ ලැබේ. රජයෙන් හෝ තම ප්‍රධානීන්ගෙන් ගරු සැලකිලි ලැබේ. එසේම මෙම වසර තුළ විදෙස් රැකියා අපේක්ෂා හා විදෙස් ගමන් බලාපොරොත්තු සාර්ථක වෙයි.

 
වෘශ්චික

 
නව වසරේ ග්‍රහ ගමන, ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-   


වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට උදාවන නව වසර ඔබගේ අධ්‍යාපන, රැකියා විවාහ ආදී කාර්යයන්හි ප්‍රගතියට වැඩි දියුණුවට ශුභදායී වෙනසක් ඇති කළත් 2023 මැයිවලින් පසු කාලය යම් යම් අවහිර බාධා ප්‍රමාදතා මධ්‍යයේ තම දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන බව සිතටගෙන වැඩකටයුතුවල නිරතවන්න.

 
විශේෂයෙන් ගතට සිතට සැපත සතුට දනවන කාර්යන් රැසක් මුල් මාස පහ තුළ සිදුවේ. අවසන් මාස හය කාර්යය කටයුතුවලට විවිධ අවහිර බාධා මතුකරන අතර අත්‍යාවශ්‍ය වැඩ ප්‍රමාද වන දෑ සිදු වන්නේය. එසේම ලැබෙන මුදල් නිකරුනේ වියදම් වී යන කරුණු යෙදේ. සමාජීය වශයෙන් සිදුවන ඇතැම් සිද්ධින් මුල්කොට අප්‍රසිද්ධව වාසය කිරීමට සිදු වේ. අනපේක්ෂිත කරදර සිතේ සමාදානය නැතිවීමද මේ කාලයේ ඇති වන අයහපත් ප්‍රතිඵලයන්ය. නැතහොත් භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත් වීමට හෝ සිදු වේ. ඔවුනොවුන් අතර කරන කියන සෑම කටයුත්තෙන්ම සැකයට කරුණු ඇතිවේ. විටින් විට වෙහෙස ඇති දුෂ්කර දුර ගමන් යෙදෙයි. මුදල් අතින් අමාරුකම් ඇති වේ. වසරේ මැද භාගයෙන් පසු ආගමික වත්පිළිවෙත් පුද පූජාවන් හි නියුතු වෙමින් කටයුතු කරන්න.   


ධනු   


නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-

 
ධනු ලග්න හිමියනට උදාවන වසරේ ග්‍රහ ගමන ශුභදායක අයුරින් බලපාන බැවින් දිවියේ නව දියුණුවක් අභිවෘද්ධියක් මෙම 2023 වසර තුළ ඇති කරයි.   


එමෙන්ම ජීවනෝපාය මාර්ගයන්හි පැහැදිලි වෙනසක් නව ආදායම් මාර්ග හිමිවීමක් ඇති කෙරේ. පරිසරය යහපත්වීම නිසා රාජකාරි වගකීම් නිසිලෙස ඉටු කිරීමටත් හැකිවේ. මෙය ඔබට තනතුරු නිලතල වරප්‍රසාද හිමිවන වසරක බලාපොරොත්තු ඉටුවන සැලසුම් ක්‍රියාවට නැංවීමට හැකිවන ශුභදායී වසරකි. වෙළෙඳ ව්‍යාපාරිකයනට මුදල් යොදවා ආරම්භ කරන ව්‍යාපාරවලින් හොඳට ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට එයින් ලොකු ලාභ ලැබේ. තමා යටතේ වැඩ කරන අය සමග යහපත් හිතවත් සම්බන්ධකම් ඇති වේ. සතුරන් මිතුරු වේ. තම වැඩකටයුතුවලට ඥාති මිත්‍රයන්ගෙන් උපකාර ලැබේ. සැප පහසුවට ආධාර වන දේ ලබා ගැනීමට ඉඩ ලැබේ.   


මෙම වසරේ අප්‍රේල් සිට පවතින තත්ත්වයේ කැපී පෙනෙන යහපත් වෙනසක් ඇති වන්නේය. සතුරු කුමන්ත්‍රණ පරාජය කළ හැකිවේ. අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම විවාහ යනාදියේ අපේක්ෂා ඉටුවීම නිසා සිතට සතුට දනවන වසරක් ද වේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙන ශුභදායක වෙනස්කම් රැසක් සිදුවන නව වසරක් බවට පත්වේ.   


මකර 
 


නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-

 
මකර ලග්නයෙන් උපන් ඔබට ලබන්නාවූ නව වසර ශුභපල මෙන්ම අශුභපල මිශ්‍රව ගෙනදෙන මධ්‍යස්ථ වසරකි. ඔබ වසර පුරාවටම ඉපැයීම් මාර්ග සම්බන්ධයෙන් සැලසුම් සහගතව ඇපකැපවී කටයුතු කරන නිසා ආදායම් වියදම් සමසේ පවත්වාගෙන යාමට හැකි වේ. එසේම මිල මුදල් හා වෙනත් භෞතික සම්පත් ලාභද ලැබේ.

 
කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල ගැටලු පැනනැඟුණත් හවුල් හෝ ස්වයං ව්‍යාපාරවල නියුතු වන්නන්ට ඒවායේ සැලකිය යුතු දියුණුවක් ගෙනදෙනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබ සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ මාර්ගයක නැතහොත් දෙයකින් ඔබට විශේෂ ලාභ ප්‍රයෝජනයක් ගෙනදෙන්නේය. ඔබ පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් හා පුෂ-අස්ලිස යන නැකත්වලින් උපන්කෙනෙකු නම් සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලය ඇති කරයි. බලාපොරොත්තු වන සැලසුම් කරන දෑ කල් යයි. විශේෂයෙන් මෙම වසරේ අවසන් මාස හත තුළ උරුම හිමිකම් ප්‍රශ්න දේපළ ආරවුල් මතු වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ කෙරේ සැලකිලිමත්වන්න. දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයට වැටේ. ඔවුන් නිසා අලාභ හානිද සිදු වේ. තිබුණ කඩිසර ගතිය ප්‍රාණවත් ගතිය වැඩට පැවති උනන්දුව උද්යෝගය නැති වේ. ගමන් බිමන්වලින් කරදර හා අනතුරුද ඇති කරයි. ඥාතීන් සමග අවුල් වියවුල් මතු වේ.

 
කුම්භ   


නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-   


කුම්භ ලග්නය හිමි ඔබට උදාවන නව වසර ගත වූ වසර තුළ තරම් ගැටළු බාධා මතු නොවන ප්‍රශ්න අඩු වසරක් බවට පත්වේ. මෙය වැඩි වශයෙන් සුභදායී වෙනස්කම් රැසක් සිදුවන වසරකි. අධ්‍යාපන කටයුතුවල නිරතවන්නන්ගේ සිත් උසස් අධ්‍යාපනයට යොමු වී එවැනි දේට සම්බන්ධ වේ. ඇණහිට තිබූ විදෙස් ගමන් බිමන් රැකියා ලාභ ගොඩනැගීමද නව වසර තුළ සිදු වන්නේය.

 
වසරේ මුල්මාස පහ තුළ අඩපණව පවතින කටයුතු ප්‍රතිසංවිධානය වේ. තමා නිරත වන රැකියා ව්‍යාපාරයන්හි දියුණුවක් අභිවෘද්ධියක් ද ඇති කරයි. විශේෂයෙන් මෙම වසර තුළ ඔබට සමාජයේ උසස් පුද්ගලයන්ගේ ගුණවතුන්ගේ ඇසුර ලැබේ. එමෙන්ම ආධාර උපකාර ද ලැබේ. ඉදිරිපත් වන බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. පසුගිය කාලයේ මුදල් අපහසුවෙන් හෝ වෙනත් බාහිර ප්‍රශ්නයන් මැද හෝ අතපසු වූ වැඩ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු මෙම වසර තුළ නැවත ඇරඹීමට හැකිවනු ඇත. එහෙත් අනුමානයට කරන කටයුතුවලින් පාඩුද පරාජය ද සිදු වේ.   


අවසන් මාස හත තුළ තනතුරුවලින් පහළ යා හැකියි. නෑදෑ හිත මිත්‍රයෙකුගේ අමනාපය හෝ ඈත් වීමද සිදුවෙයි. කරන කියන ඇතැම් කටයුතුවලින් කරදරද පාඩුද කරන්ට යන කටයුතුවලට බාධාද ප්‍රමාද වීම්ද ඇති වේ. ස්ථාන හැර යාමට සිතෙයි. මෙය චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප්‍රවේසම් විය යුතුයි. දඬුවම් පවා ලැබෙන්ට හේතුයි. අධික වියදම් ඇති වේ. ණයවීමටද ඉඩ තිබේ.   

 
මීන 
 


නව වසරේ ග්‍රහ ගමන ඔබේ අධ්‍යාපන, ආර්ථික, රැකියා මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් අයුරු වේ :-   


මීන ලග්නයට අනුව ග්‍රහ ගමන එතරම් ශූභදායක නොවෙන බැවින් දිවියේ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු විශේෂයෙන් මැයි මස සිට ඔබට ඉටුකර ගැනීමට සිදු වන්නේ නොයෙකුත් අවහිරතා මෙන්ම බාධා මධ්‍යයේය.   


සමස්තයක් වශයෙන් ගත් කල අධ්‍යාපන රැකියා විවාහ යනාදියේ වැඩි දියුණුවට කටයුතු පිළියෙලවීමක් 2023 මැයිවලට පෙර ක්‍රමයෙන් ඇති කරයි.   


පොදුවේ උප්පත්ති කේන්ද්‍රයේ සඳු ග්‍රහයා 5 වන 9 වැනි කොටුවල සිටි අයට විවිධ ප්‍රශ්න කරදර ඇති කළත් අපලකාරී බවක් පෙන්නුම් කළත් සෙසු අයට දැඩි පීඩාකාරී බවක් පෙන්නුම් නොකරයි.   


කෙසේ වෙතත් උදාවන නව වසර ඔබේ දිවියේ අත්‍යවශ්‍ය කාර්ය කටයුතු කෙරෙන් විශේෂ සුබදායකකමක් පෙන්නුම් නොකරයි. බොහෝ සෙයින් මෙය ඉවසිලිවන්තව බුද්ධිමත්ව සිතා තීන්දු තීරණ ගෙන කටයුතු කළ යුතු වසරක් බව සිතට ගෙන කටයුතු කරන්න. ශරීර සනීප කෙරෙහි නිබඳව සැලකිලිමත්වන්න. කැඩුම් බිඳුම් වැටීම් ආදිය නිසා ශරීරයෙහි තුවාල ඇසට හිසට පීඩා සාදන්ට පුළුවන. මිල මුදල් හානි වේ. නිකරුණේ වියදම් යන කටයුතු ඇති වේ. සමහරවිට දැන දැනම නිෂ්ඵල දෙයට වියදම් කරන්ට සිදුවේ. නොකළ වැරදිවලට බොරු චෝදනා අපවාද අසන්ට සිදුවේ. බලාපොරොත්තු අදහස් කැඩී බිඳී යන්නේ ඒවාට මුදල් වියදම් වූ විටය.   
පොදුවේ මෙය ඔබට විපරීත රාජයෝග බලයක් ක්‍රියාත්මක වන වසරක් බැවින් සැලසුම් කළ දේවල් අඩපණ වුවත් සැලසුම් නොකළ බලාපොරොත්තු නොවූ පැත්තකින් අනාගත දියුණුව අභිවෘධියට හේතුවෙන ජීවනෝපායේ ප්‍රගතියක් ගොඩනැගෙන විශේෂ වැඩකටයුත්තක් ඉෂ්ට සිද්ධ වනු ඇත.   

 

ජ්‍යොතිෂවේදී   
හේමන්ත වීරසිංහ

Gossip Lanka Hot News Previous News Archive