රවි මිථුනයට - ඔබේ ලග්නයට කොහොමද?


“ 2023 ජූනි මාසයේ සිදුවීමට යන රාජ්‍යකාරක රවිගේ මාරුව සිදුවන අතර මෙය 2023 ජූනි 6 සිට ජූලි 16 දක්වා රවි-මිථුන රාශිගත වේ. මෙම පොසොන් මාසයේ දරුවන් පිළිබඳවත් නව නීති ක්‍රියාත්මක වන බවත් නව සංශෝධන ගොඩනැඟෙන අතර රාජ්‍යකාරක රවිගෙන් මිත්‍රත්වය වර්ධනය වන නිසා විදේශ රටවලින් ලැබෙන සහය රවි මාරුවෙන් රටේ නායකයාට සුබ බවත් රටට යම්කිසි සහනයක් ලැබෙන බවත් කිව යුතුයි.”

මෙම රවි ගෝචරය ඵල වැඩි වශයෙන් බලවත් වන්නේ උප්පත්තියේදී එම ග්‍රහයා සිටින භාවය, රාශීය සහ දෘෂ්ටිය සංයෝග මුල් කරගෙනයි. විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ උපතේදී රවි ශුභ භාවයක, ශුභ රාශියක, ශුභ දෘෂ්ටියක, ශුභ සංයෝගයක අස්ථ නොවී බලවත්ව සිටීනම් එම කාලය තුළදී එම ග්‍රහයා මොන රාශියේ මොන අශුභ ඵල දුන්නත් ඔබව නොමරයි. ඉන්න තැනින් පහළට ඇද නොදමයි.

මේෂ – මේෂ ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා ගෝචර වන්නේ මිථුන රාශියටය. මිථුනය යනු මේෂ ලග්නයෙන් තුන්වන රාශියයි. පෙර තිබුණ නොසන්සුන් ගතිය පහව යයි. සිතට කයට සැනසිලිදායක බවක් ගෙන දෙයි. පෙරට වඩා උනන්දුව උත්සාහය ඇතිවෙයි. බොහෝ අතපසුවූ වැඩ නැවත පටන් ගැනීමට කාලය එළඹේ. ඒ සඳහා අවශ්‍ය මිල මුදල් මෙන්ම මිනිස් උපකාරද ලැබෙන කාලයකි. විශේෂයෙන් මේ කාලයේ දියුණුවකට මග පෑදෙන කාලයක් බැවින් උත්සාහයෙන් ජීවිතය ජයගන්න. රැකියාවේ තනතුරුවල වෙනසක් විය හැකි කාලයකි. නව රැකියාවල් සොයායෑමට අවස්ථාව උදාවෙයි. විදේශ ගතවීමට සිටින අයට බොහෝ විට රවි ශනි බලවත් නම් ඔබව සොයාගෙන නව රැකියා මාර්ග විවර වෙයි. විදේශ ගත වෙන්නට අවස්ථාව උදාවෙයි. අධ්‍යාපනය ලබන මේෂ ලග්න දරුවනි. මෙතෙක් ප්‍රමාද වූ හෝ කල්දමා තිබූ කටයුතු නැවත පටන් ගැනීමටයි මේ අවස්ථාව උදාවන්නේ. එම නිසා පුළුවන් තරම් ඉලක්කවලට යන්නට උත්සාහ ගන්න. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වන කාලයකි. යම් කෙනෙකුගේ රවි බලවත් නොවේ නම් උපන් කේන්දරයේ ඔබ තරමක් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන්ම රැකියාවෙන් නාඩි සිද්ධාන්තවලට අනුව නම් ඔබ මොන තරම් කාර්ය බහුල වුවත් ඔබට නිසියාකාරව මුදල් ලාභ නොලැබේ. ණය වීමට පවා සිදුවෙයි. හැමවිටම උෂ්ණ ගත රෝග, ලෙඩ රෝගවලින් ප්‍රවේශම් වන්න. අධ්‍යාපනය ලබන දරුවනුත් උත්සාහයෙන් විභාග ජයගත යුතුය. එම නිසා ඔබේ ඉලක්කවලට කිසිම කෙනෙකුට හෝ කිසිම කෙනෙක් බාධාවක් කර නොගන්න. දරුවනි, මේ කාලයේ ඉක්මන් තීරණ නොගන්න. ප්‍රේම සම්බන්ධතා ඇති කර නොගන්න. මං මුලා නොවි තම කටයුතුවල පමණක් යෙදෙන්න.

වෘෂභ- වෘෂභ ලග්න හිමියන්ගේ රවිගේ ගෝචරය සිදුවන්නේ 2 වැන්න වූ මිථුන රාශියටයි. මෙහිදී වෘෂභ ලග්න හිමියනි ඔබට තරමක් දැනෙන්න දෙන කාලයකි. ටිකක් රිදෙන කාලයකි. ටිකක් රිදෙන්නෙත් ඔබට දැනෙන්නෙත් ඔබ තවම ඔබ ගැන සිතන්නට ගොස් නැති නිසාවෙනි. තරමක් කරදරකාරියි. මිල මුදල් අතින්ද කරදර ඇතිවේ.

රැකියාවේ ප්‍රශ්න ඇතිවේ. ඔබේ කීර්තියට හානි ඇතිවේ. ඔබ ගැන අමුතු කතා තැන් තැන්වල කියවෙයි. විශේෂයෙන් ඔබ රැකියාව කරන තැන එමෙන්ම පුළුවන් තරම් ඇඟ බේරාගෙන පාඩුවේ ඉන්න උත්සාහ ගත යුතු කායකි. යම් යම් ආරවුල් ගැටලුද ඥාතීන් සමග ප්‍රශ්නද ඇති වීමට පුළුවනි. අසනීපාදී කරදරද හිසේ උෂ්ණ ගතිය, උෂ්ණ ගතිය වැඩිවීමෙන් ඇතිවන අසනීපාදී කරදරවලින්ද ප්‍රවේශම් විය යුතු කාලයකි. ඒ කොහොම වුණත් ලොකු විනාශයක් සිදු නොවේ. එහෙත් කල්පනාවෙන් කාලය ගෙවන්න. අධ්‍යාපනය ලබන දරුවන් පෙරට වඩා උනන්දුවක් පෙන්විය යුතුයි. කුඩා දරුවන්වත් හොඳින් ආරක්‍ෂා කළ යුතු කාලයකි.

මිථුන- මිථුන ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ රවි ලග්න ගතවෙයි. මිථුන ලග්න හිමියන්ට පසුගිය කාලයේ පැවති අෂ්ටම ඒරාෂ්ඨක තත්ත්වය හා සමාන දවසක් උදාවෙයි. හැබැයි ඔබට ඉක්මනින් කේන්ති යන ගතියකුත් අන් අයව එතරම් ගණන් නොගන්නා ගතියකුත් පෙන්නුම් කරයි. ශෝකවීමට කරුණු යෙදේ. තමාගේ ළඟම මිත්‍ර සමාගම් කැඩී බිඳී යයි. ආදර බන්ධන කැඩී බිඳී යයි. පෙර නොතිබුණු අසනීපාදී කරදර යෙදේ. ස්ථිර බවක් නොපෙනේ. ස්ථාන වෙනස්වීමක් මෙන්ම රැකියාවෙන් මාරුවීමක්, වෙනත් රැකියාවකට මාරු වීමක් නැතිනම් රැකියාව එපාවී ගමට පැමිණෙන්නට සිදුවෙයි. සියලුම දේ ඔබේ ඉක්මන් කම නිසා සිදුවෙන්නටත් පුළුවනි. පෙර පුරුදු වෙනස් වෙන්න පටන් ගනියි. මේ කාලයේ හිසේ අසනීප හිසරදය, හිස කැසීම, තුවාල ඇතිවීම හෝ බඩේ අසනීප ඇතිවිය හැකි කාලයකි. පපුව සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන්න. ඔබේ පියාට තරමක අපල කාලයක් වන අතර උසස් අධ්‍යාපනය ලබන දරුවනි, ඔබත් ප්‍රවේශම් විය යුතු කාලයකි. විදේශගතව ඉන්න අයත් මේ කාලයේ පරිස්සම් විය යුතුයි. හැමවිටම කටපරිස්සම් කරගෙන ඇඟ බේරාගෙන ඉන්නට උත්සාහ ගන්න.

කටක- කටක ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා ගෝචරයෙන් 12 වැන්න වූ මිථුන ලග්නයට පැමිණෙයි. මෙම පැමිණීම 12 වැන්න වූ ත්‍රිකස්ථානයේ වීම නිසා ඔබ පරිස්සම් විය යුතුයි. හදිසි අනතුරු කරදරවලින් පරිස්සම් වන්න. මේ කාලයේ වියදම් අධික කරයි. මෙයිනුත් දරුවන් වෙනුවෙන් මුදල් වියදම් කරන්නට සිදුවෙයි. එමෙන්ම රජයේ වැඩකරන අයද මේ කාලයේ විශේෂයෙන්ම පරිස්සම් විය යුතුයි. අධික ලෙස කරදර ඇතිවෙයි. බොහෝ කරදර ඔබ විසින්ම ඇති කරගන්නා කරදර වෙයි. අධ්‍යාපනය ලබන දරුවනි ඔබත් පුළුවන් තරම් උනන්දුවී උත්සාහය ඇති කරගන්න. ජීවිතය ජය ගැනීමට නම්, අධ්‍යාපන කටයුතුවලින් පිටත කිසිම දෙයකට සම්බන්ධ නොවන්න. අඩුම වශයෙන් අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක්වත්, වැඩිහිටියෝ පොලිසි හිරගවල්වලට යන තැනට වැඩ සිද්ධ කර නොගන්න. මූලිකම දේ වන්නේ ඔබ කියන කරන දේ ගැන අවබෝධයක් ඇති කරගෙන තම කටයුතුවල යෙදෙන්න.

සිංහ- සිංහ ලග්න හිමියන්ගේ රවිගේ ගෝචරය සිදුවන්නේ 11 වන රාශිය වූ මිථුනයටයි. සිංහ ලග්න හිමියනි, ඔබට ඉතාම ශුභදායක කාලයක් මේ ලැබුවේ. ඇත්තෙන්ම ඔබව ඉහළට ඔසවා තබන කාලයකි. ඉතාම ගෞරවාන්විතව, ගරු නම්බු ඇතිව ඉහළට යා හැකි මාර්ග උපදේශන ලැබෙන කාලයකි. දියුණුවකට මඟ පෑදේ. රැකියා කටයුතුවලින් හොඳ ආදායමක් ලබාගත හැකි අතර අලුත් ව්‍යාපාරවලට අත ගැසීමට ද හොඳම කාලයකි. විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මේ කාලය ඉතාම ශුභදායකයි. විශේෂයෙන් අධ්‍යාපනය හා රැකියා සඳහා යන අයට විශේෂයි. මේ කාලයේ නොසිතූ ආකාරයෙන් මුදල් සහ ද්‍රව්‍ය ලාභ ලැබීමටත් අලුතින් ඉඩම් මිලදී ගැනීමටත් නිවාස ගොඩනැඟීමටත් හොඳම කාලයකි. නැවතී තිබූ වැඩ නැවත පටන් ගැනීමටත්, අතහැර දමා තිබූ දෙයින් ප්‍රයෝජන ගැනීමටත් මේ කාලය ශුභයි. ඔබේ වාසනාව උරගා බලන්න දෙවියන් විසින් දුන් වරප්‍රසාදයකි.

උපතේ රවි බලවත් වී සිටීනම් ඉහත කී කරුණු සියල්ලක්ම ඉෂ්ට වන අතර රවි දුර්වල නම් ඉහත කී සියලුම දේ ඉටු නොවුණත් ඔබට ලොකුවට කරදර සිදු නොවේ. උපතේදී රවි 22 වන දෙර්කාණාධිපති වූ අයටත් ඉහත කී සියලුම දේ ඒ ආකාරයෙන් සිදු නොවේ. නමුත් ඔබ පරිස්සම් විය යුතු අතර මිල මුදල්, අලුත් ව්‍යාපාර පටන් ගන්නට උත්සාහයක්වත් දරන්න.

කන්‍යා- කන්‍යා ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා 10 වැන්න වූ මිථුන රාශියට ගෝචර වෙයි. කන්‍යා ලග්න හිමියන්ටත් මේ කාලය ඉතාම ශුභදායකයි. උසස් අය ඇසුරු කිරීමටත්, ප්‍රසිද්ධ තැන්වලට යාමට ඉඩ ලැබේ. නම්බුව කීර්තිය හිමිවෙන්නට පුළුවන් කාලයකි. සිතේ සතුට ඇතිවෙයි. බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට හොඳම කාලයකි. එම නිසා පුළුවන් තරම් තම කටයුතු බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට උත්සාහ ගන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට මේ කාලය හොඳම කාලයයි. විදේශ ගත වෙන්න ඉන්න අයටත් මෙය ශුභදායක කාලයකි. රැකියා කටයුතුවලින්ද ව්‍යාපාර කටයුතුවලින්ද කරදරයක් නැතුව සිතේ හැටියට ලාභ ලබාගත හැකි කාලයකි. පෙරට වඩා මුදල් වැඩිපුර අතගාන්නට පුළුවනි. නොතේරුම් කමින් යම් යම් වැරදි කීපයක් හෝ වචන හුවමාරුවක් ඇතිවිය හැකි නිසා ප්‍රවේශම් වන්න. පොදුවේ ගතහොත් නිරෝගීමත් ප්‍රීතිමත් කාලයකි. උපතේ රවිගේ ස්වභාවය අනුව උස් පහත්වීම් ඇති වුවත් කන්‍යා ලග්න හිමියන්ට මේ කාලය ශුභයි. පියාගෙන් දරුවන්ට දේපළ මිල මුදල් ව්‍යාපාර අයතීන් ලැබෙන කාලයකි. ස්ථාන හෝ කටයුතුවල වෙනසක්ද ඇති වීමට නියමිතයි.

තුලා- තුලා ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා 9 වැන්න වූ මිථුන රාශියට ගෝචර වෙයි. තුලා ලග්න හිමියන්ට දුක්වීමට කරුණු යෙදේ. බොහෝ විට සමහර කරුණු ඔබ විසින්ම ඇති කරගත් දේ නිසා සිදුවන කරුණු වෙයි. පෙර තිබුණු උනන්දුව උත්සාහය හීනවී යයි. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට, ශරීර සනීපය අඩුවෙයි. උදාසීන ගති මතුවෙයි. කම්මැලි වෙයි. එන්න එන්නම කම්මැලි වුවහොත් එය අධ්‍යාපන කටයුතුවලට, රැකියාවට කරදර ගෙන දෙයි. මේ කාලයේ ඔබ හොඳින් සිටින්නට උත්සාහ ගන්න. ඔබේ චරිතය හොඳින් රැක ගන්නට උත්සාහ ගන්න. හේතුව අහක යන කුණු ඔබේ ගිණුමට එක් වෙන්නට පවතින ඉඩ වැඩි නිසයි. පුළුවන් තරම් ආගමික කටයුතුවල යෙදෙන්න. විශේෂයෙන් දන් දෙන්න. කිසිවිටකත් රැකියාවේ ප්‍රධානියා මෙන්ම වැඩිහිටියන් සමග කරන ගනුදෙනුවලින් ප්‍රවේශම් වෙන්නට උත්සාහ ගන්න. සහෝදර සම්බන්ධතා පළුදුවීමට පුළුවනි. මේ සියලුම දේ සිදුවන්නේ උපතේ රවි සිටින රාශිය අනුව සහ ස්වභාවය අනුවයි. විශාල වශයෙන් අනතුරු හදිසි අනතුරු පෙන්වන්නෙ නැත. පෙර පින ඵලදෙන කාලයක් නිසා පුළුවන් තරම් ආගමික කටයුතුවල යෙදෙන්න. ඒ වගේම පුළුවන් තරම් පිං දහම් කරන්න. ඔබට පුළුවනි සියලු කරදරවලින් මිදී සිටින්න.

වෘශ්චික- වෘශ්චික ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා ගෝචර වන්නෙ 8 වන රශිය මූ මිථුනයටයි. වෘශ්චික ලග්න හිමියනි, ඔබ මේ ගෙවන්නේ අමාරු කාලයකි. කරදර සහිත කාලයකි. එම නිසා කල්පනාවෙන් මේ කෙටි කාලය ජීවිතය අවබෝධ කරගෙන මුහුණ දුන්නොත් ඔබට වරදින්නේ නැති බව වටහාගෙන මෙය කියවන්න. පවුලේ අයට එනම් මේ කාලයේ දරුවන්ගේ අසනීප නිසා දුක්වෙන්නට ශෝක වෙන්නට කරුණු යෙදේ. ඒ වගේම රැකියාවෙන්ද ඔබට යම් යම් කතා මෙන්ම රැකියාව එපා වෙන තැනටම වැඩ සිද්ධ වෙයි. ව්‍යාපාර කරන අය සුළු සේවකයන් සමග ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න. මේ කාලයේ අසනීපාදී කරදරත් විඳින්නට සිදුවෙයි. වැඩිපුර මුදලක් ඒ සඳහා වියදම් කරන්නටත් සිදුවේ. විදේශ ගත ලාංකිකයනි, ඔබ මෙන්ම ඇඟලුම් කර්මාන්තයේ යෙදී සිටින වෘශ්චික ලග්න හිමියොත් විශේෂයෙන්ම තමාගේ නම්බුව රැකගෙන ඉන්නට උත්සාහයක් ගන්න මේ අපල කාලය දුරු වෙනකන්. හදිසි අනතුරු වැනි දේට මුහුණ දෙන්නට සිදුවෙයි. යම් යම් ආබාධ ඇති වෙන්නටත්, තමාගේ සතුට සිනාව අන් අයට ගෙනියන්නට ඉඩ නොදෙන්නටත් වග බලාගන්න. විශේෂයෙන් මේ කාලයේ දරුවන් ගැන හොඳින් බලාගන්න. අසනීපයෙන් සිටින අයත් පරිස්සම් වන්න.

ධනු- ධනු ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා ගෝචර වන්නේ 7 වැන්න වූ මිථුනයටයි. මෙතෙක් විවාහ නොවූ ධනු ලග්න හිමියනි, ඔබට මේ කාලයේ මංගල සීනු හැඬවෙන කාලයකි. විවාහ යෝජනා ස්ථිර වෙයි. හැබැයි ආදර සම්බන්ධතාවලදී කල්පනාකාරී වන්නටත් වගබලා ගන්න. මන්ද සිත් තැවුල් ඇති කරන කාලයකි. බිරිඳ හෝ ස්වාමියා තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න ඇති කර ගනියි. මෙය ඔබේ විවාහ ජීවිතයට බාධාවක් ඇති කරන නිසා කල්පනාකාරී වන්න. පවුල් ජීවිතය රැක ගැනීමට, දරුවන්ටද මෙය මානසික වදයක් වන අතර අධ්‍යාපන කටයුතුවලටද බාධාවක් ගෙනදෙයි. ධනු ලග්න හිමි දරුවනි, ඔබ පෙරමෙන් ක්‍රියාශීලී නොවන්නට පුළුවනි. එමෙන්ම ඔබේ සහජ දක්‍ෂකම් හීනවිය හැක. උනන්දුව උත්සාහය මත ඔබගේ ජීවිතය ගොඩනඟාගන්න. ඔබට පෙර පැවති අපලකාරී තත්ත්වය මගහැරී ඇති නිසා ජීවිතය ඔබට ජයගත හැකියි. වැඩිහිටියන්ට මේ කාලයේ අසනීපාදී කරදරවලට මුහුණ දීමට සිදුවන බවත්, උදරාබාධ, උණ රෝග මෙන්ම අක්මාවේ දෝෂ ඇතිවිය හැක. විශේෂයෙන් ලිංගික දෝෂ අර්ශෂ් දෝෂ මේ කාලයේ වැඩිවෙයි. පුළුවන් තරම් සිසිල් කෑම ආහාරයට ගන්න. ඔබට බෝධි පූජාවක් තබා හෝ තමා අදහන ආගමක් මගින් පුළුවන් තරම් දෝෂ අඩුකර ගැනීමට උත්සාහ ගන්න.

මකර- මකර ලග්න හිමියන්ගේ රවි ග්‍රහයා ගෝචර වන්නේ 6 වැන්න වූ මිථුනයටයි. මකර ලග්න හිමියන්ට මේ කාලයේ ලග්න ඒරාෂ්ඨක තත්ත්වයක් පවතින අතර එය එසේ පැවතියත් මේ කාලයේ තරමක් හෝ සහනදායක බවක් පෙන්නුම් කරයි. මිල මුදල් මෙන්ම බඩු භාහිරාදී ලාභ පවා ලැබෙන කාලයකි. සිතට සහනදායක සිතුවිලි ගලා එන කාලයකි. මේ කාලයේ ඔබ අදහන ආගමික කටයුතුවල යෙදෙන්නට හැකිනම් ඔබට පුදුම හිතන සහනදායක කාලයක් ලබාගත හැක. විවාහ අපේක්‍ෂකයනගේ විවාහ කටයුතු සාර්ථක වෙයි. ආදර සම්බන්ධතාවයන්ට වැඩිහිටියන්ගෙන් ආශීර්වාදය ලැබේ. රැකියා කටයුතුවලින්ද සහනයක් ලැබෙන කාලයකි. විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයටත් මේ කාලය ශුභදායකයි. මෙතෙක් ඉෂ්ට කර ගැනීමට නොහැකි වූ බලාපොරොත්තු ඉෂ්ටකර ගැනීමට අවස්ථාව උදාවෙයි. 2025 න් පසු ඔබට දැනට පවතින ලග්න ඒරාෂ්ඨක කාලය අවසන් වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ටද මේ කාලය ඉතාම ශුභදායක කාලයක් බව පැවසිය යුතුය.

කුම්භ- කුම්භ ලග්න හිමියන්ගේ රවි ග්‍රහයාගේ ගෝචරය සිදුවන්නේ 5 වැන්න වූ මිථුනයටයි. කුම්භ ලග්න හිමියන්ට මේ කාලයේ ලග්න ඒරාෂ්ඨක තත්ත්වයක් පවතියි. ඒ අතරම රවිගේ පැමිණීම කුම්භ ලග්න හිමියන්ට එතරම් ශුභදායක තත්ත්වයක් පෙන්නුම් නොකරයි. අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම කුඩා දරුවන්ටද අසනීපාදී කරදර විඳින්නට සිදු වේ. විශේෂයෙන් කුඩා ගැහැනු දරුවන්ගේ බඩේ අසනීප ඇතිවෙයි. බඩේ උෂ්ණ ගතිය වැඩිවෙයි. දරුවන් අපේක්‍ෂාවෙන් සිටින කුම්භ ලග්න හිමි කාන්තාවනි,

දරුවා ලැබෙන තෙක් ඉතාම කල්පනාවෙන් සිටින්න. දරු ගැබ අලුත් අම්මලා දරුවා රැකගන්නට උත්සාහ ගන්න. මේ කාලයේ සිතට කයට ලොකු සහනක් ඇති නොවේ. ප්‍රසිද්ධියේ සතුරන් ඇතිවෙයි. ඔබ වෙනදාට වඩා කේන්ති යන ගතියක් පෙන්නුම් කරන නිසා සංසුන් වන්න. රැකියාවේදී කල්පනාවෙන් තමාගේ කටයුතුවල පමණක් නිරත වෙන්න. අලුතින් පටන්ගන්නා ව්‍යාපාර ගැන කල්පනාකාරී වන්න. විදේශ රටවල සිටින කුම්භ ලග්න හිමියනි, ලෙඩ රෝගවලින් හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතු කාලයකි. ඔබේ නම තැන තැන කියන කාලයක් නිසා නින්දා අපහාසවලින්ද ප්‍රවේශම් වන්න. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. එම නිසා ඔබ ඔබම ගැන පමණක් සිතන්න. අපල කාලය මග හැරුණු පසු ඔබේ බලාපොරොත්තු ඉටුකර ගන්න.

මීන- මීන ලග්න හිමියන්ගේ රවිගේ ගෝචරය සිදුවන්නේ 4 වැන්න වූ මිථුනයටයි. රවි මිථුනයට පැමිණීමත් සමගම ඔබට ලග්න ඒරාෂ්ඨක තත්ත්වයක් පවතින බවත් එය පුරා වර්ෂ 7 1/2 ක් පවතින බවත් දැනගන්න. ඔබ ජීවත්වන පරිසරය ඔබට ඔබව එපා කරවයි. ඔබේ සිතට මේ කාලයේ කිසිම සැනසීමක් ගෙන නොදේ. එමෙන්ම පවුලේ අයගෙන්ද සැනසිලිදායක පිළිතුරක් ඇති නොවේ. ඔවුන්වද ඔබට පෙනෙන්නේ හතුරන් ලෙසිනි. එමෙන්ම තම ගෙදර තමාට එපා කරවයි. ආදායම් තත්ත්වය පහළ බසියි. ලොකුවට හිතේ තියාගෙන සිටිය බොහෝ දේ ඔබෙන් ගිලිහී යයි. පිට අයගෙන් යැපීමට සිදුවන අවස්ථා මෙන්ම ණයට ගැනීමට පවා සිදු වේ. ඔබේ මවටත් මේ කාලය තරමක අපලදායක කාලයකි. පපුව සම්බන්ධ ලෙඩ මෙන්ම සෙම් ආශ්‍රීත ලෙඩ රෝගද උත්සන්න වෙයි. පපුවේ වේදනාවන් ඇති වෙයි. අනුමානයට කිසිවක් නොකරන්න. ගමන් බිමන්වලදී කල්පනාකාරී වන්න. හදිසි අනතුරු වැනි කරදර ඇතිවීමට පුළුවනි. කෙසේ හෝ මේ අවාසනාවන්ත කාලයට මුහුණ දෙන්නට වග බලා ගන්න තම ආගමික කටයුතුවල නිරත වෙන්න.

මෙම ඵලාපල විස්තරය පොදු පලාඵල විස්තරයක් වන අතර මෙහි අඩුවැඩි වීම් පවතියි. ඔබේ ලග්නයට සහ 22 වන දෙර්කාණාධිපති රවි වූ අයට මෙහි අඩුපාඩු වැඩියෙන් පවතියි. එම නිසා පොදු පලාඵලය බලාගන්න. කටක ලග්න හිමියන්ට මේ කාලයේ අෂ්ඨම අපල කාලයක් පවතින අතර මීන ලග්න හිමියන්ට අවුරුදු 7 1/2 ක ලග්න ඒරාෂ්ඨක තත්ත්වයක් පවතින බවත් කුම්භ ලග්න හිමියන්ට අවුරුදු 5 ක ලග්න ඒරාෂ්ඨක අපලයක් ඇති බවත් මකර ලග්න හිමියන්ට 2025 දී ලග්න ඒරාෂ්ඨක අපලය අවසන් වන බවත් දැනගන්න.


නාඩි ජ්‍යොතිෂවේදී ඉටුමිණ මංගල ආයතනයේ අධිපතිනි
ඉවෝන් දිසානායක

Gossip Lanka Hot News Previous News Archive