පෙබරවාරි මාසය ඔබට කොහොමද?

පෙබරවාරි මාසය ආරම්භයේ මකර රාශිය උදාවී එහි රවි ග්‍රහයා ගෝචරව සිටීම අනුව තරමක උණුසුම් වාතාවරණයක් මෙන්ම මහජනතාව තුළ ද සානුකම්පිත බව ගිලිහී යාමේ ප්‍රවණතාවක් දක්නට ඇත.

පෙබරවාරි මස 22 සහ 28 යන දිනවල සිකුරු – කුජ සහ බුධ – ශනි යන ග්‍රහයන් අතර ග්‍රහ යුද්ධ දෙකක් පෙන්නුම් කරයි. ඒවායින් සිකුරු සහ ශනි ජයග්‍රහණ ලබයි. කෙටි මාසයක් තුළ වුවද සුබ දින සුබ නැකැත් හෝරා බොහොමයක් ඇත. ඒවාගේම අසුබ ග්‍රහ ගෝචර ද අප කරා පැමිණෙති. ඒවාට මුහුණ දීමේ ශක්තිය උපදවා ගැනීමට අපට අපේ සිතුවිලි යහපත් කරගැනීමටත් ආවේගශීලී බව අඩුකර ගැනීමටත් හැකි විය යුතුව ඇත.

 

මේෂ – වැඩ කටයුතු සාර්ථක වේ

ගෘහ ජීවිතය – ලග්නාධිපති භාග්‍යස්ථානයේත් භාග්‍යස්ථාන අධිපති ලග්නයේත් පිහිටා ආරම්භ වන මාසය තුළ ඔබ අදහස් කරගෙන සිටින වැඩ කටයුතු බොහොමයක් සපල කර ගැනීමට හැකියාව පවතී. කිසිවකුටත් ඔබ නිසා සිත් රිදීමක්වත් ඇති නොවීමට අදිටන් කරයි. පුණ්‍ය කටයුතු කෙරෙහි වැඩි දායකත්වයක් දක්වන සහ ඇසුරු කරන අය අතර සුහදතාව වර්ධනය කර ගනී. සතුරු අය පවා මිතුරු වෙති. අන්‍යයන්ගේ ගැටලුවලදී උපදෙස් දීමට ඉදිරිපත් වෙමින් ඔවුන් අස්වසාලයි. එහෙත් මධ්‍යස්ථව සාමාජයීය ඇසුර පවත්වාගෙන යන්න.

රැකියාව ‍- රැකියාකාරක ශනි අයස්ථානයේත් 10 වැන්නේ රවි ග්‍රහයාත් ගෝචර වීම හේතුවෙන් කරන කියන කුමන රැකියා අංශයක වුව ද සුබවාදී බවක් දක්නට ලැබෙයි. අතමිට සරුවේ. යුතුකම් ඉටු කරයි.

අධ්‍යාපනය – විද්‍යාස්ථානය වූ 5 වැන්නාධිපති රවි 10 වැන්නේ දිග්බල වීම දරුවන්ගේ ඉගෙනීමේ ප්‍රගතියක් ඇති කරයි. මතක ශක්තිය ගොඩනඟයි. උසස් අධ්‍යාපනයට යොමු කරයි. විද්‍යා ගණිත අංශවල දැනුම වර්ධනය කරයි.

සෞඛ්‍යය – පාදවල වේදනා, සෙම් රෝග, අජීර්ණ ආදියට ඉඩ ඇති අතර ඒවා උග්‍ර තත්ත්වයට පත් නොවෙයි. අවේලාවේ ගමන්බිමන් යාමෙන් නොකළ දේට චෝදනා ලැබීමට පුළුවන.

අපල අවම කර ගැනීමට අඟහරුවාදා දිනවල නිර්මාංශව බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින් දෙන්න. අභිසම්භිධාන පිරිත කියන්න.

සුබ අංක – 4, 5, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – ප්‍රධානීන්ගෙන් උදවු පදවු

ගෘහ ජීවිතය – යෝග කාරක සෙනසුරු 10 වැන්නේ ස්වක්ෂේත්‍රව ද සිවුවැන්න අධිපති රවි 9 වැන්නේ ද ගෝචරව ආරම්භ වන මාසය තුළ ප්‍රධානීන්ගෙන් උදවු උපකාර හිමිවීමට පුළුවන. කරන කියන සියලු යහපත් කරුණු කාරණාවලින් සුබපල හිමිකර ගැනීමට හැකි වෙතත් වැඩිහිටි අයට ඇහුම්කන් දීම වැදගත් වේ. ඔවුන්ගේ ආශීර්වාද අනුශාසනා ඉවසීම ඔබගේ දියුණුවට හේතු වෙයි. ආර්ථික පසුබෑමක් ඇති නොවන්නට වියහියදම් පාලනය කර ගැනීමට ද ඔබට සිදුවේ. විදෙස් ගමන් සඳහා ඉඩකඩ ඇත.

රැකියාව – කරන රැකියාව කුමක් වුවද වෙහෙසී වැඩ කිරීමට සිදුවේ. හුදෙක්ම පොදු ජනතාවගේ යහපත පිණිසය. ඔවුන්ගේ දුක්ගැනවිලි අසන්නට ද සිදුවේ. රාජකාරි වේලාව ඉක්මවා අමතර පැය වැඩෙහි යෙදෙන්නට සිදු වූව ද ලැබීම් සහිත අවස්ථා උදාවේ. සාධාරණ වැටුපක් ද හිමි වේ.

අධ්‍යාපනය – පරිගණක තාක්ෂණ අංශවල ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු වන අතර පොතපත පරිහරණය ද වැඩිවේ. තව ද මේ කාලය තුළ උසස් අධ්‍යාපනික දැනුම ලබන දරුවන් ඉක්මන් පාඨමාලාවලට යොමුවී විදෙස්ගත වීමේ අරමුණු ඇතිකර ගනී.

සෞඛ්‍යය – දණහිස් වේදනා, කොඳුඇට පෙළේ වේදනා මෙන්ම සෙම් රෝග, මුත්‍රා ආසාදනවලට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්වේ.

අපල අවම කර ගැනීමට සිකුරාදා දිනයේ විහාරස්ථානයට ගොස් බෝධීන් වහන්සේ අවට පිරිසිදු කරන්න. මල් පහන් පුදා දෙවියන්ට පින් දී පැන් කළයක් දමන්න.

සුබ අංක – 2, 3, සුබ වර්ණ – ක්‍රීම්, රෝස, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – ස්වයං රැකියාවලින් ලාභ

ගෘහ ජීවිතය – ගෙදරදොර කටයුතු ඉක්මනින් සහ නවතාවකින් සිදු කරන්නට වෙහෙසෙයි. අතපසු වූ වැඩ බොහොමයකට මුල පුරයි. කතාබහට අන්‍යයන්ගේ සිත් දිනයි. ස්වයං රැකියා හෝ සහජ දක්ෂතා තුළින් යම්කිසි මුදලක් උපයා ගැනීමට ද හැකියාව පවතී. ඒ පිළිබඳව උනන්දු වන්න. යුග දිවිය සාමකාමීව ගෙවයි. ළඟ මෙන් දුර ගමන් බිමන් ද යෙදේ. සාමාජයීය මෙන්ම පොදු යහපත පිණිස උදවු උපකාර කරයි. ලැබීම් සහිත මාසයකි.

රැකියාව – නිවසේ සිටම යම් කිසි මුදලක් උපයා ගැනීමට අවශ්‍ය කරුණු කාරණා සැලසේ. පොතපත දැනුම, කිරි සහ දියර නිෂ්පාදන සිදු කරයි. ව්‍යාපාර දියුණු වේ. වැඩිහිටි අයගේ උපදෙස් මත දියුණුව සලසා ගැනීමට උනන්දු වන්න. ගමන්බිමන් ද යෙදේ. දුර පළාත්වල වෙසෙන අය සමඟ රැකියා ගිවිසුම් සබඳතා ගොඩනඟා ගනී.

අධ්‍යාපනය – ව්‍යාපාර අධ්‍යයන කටයුතු, කෘෂිකර්මය සහ පුරා විද්‍යා වැනි විෂය ධාරා හදාරණ අයට සාමූහිකව කරුණු සාකච්ඡා කර විභාග ජයග්‍රහණයට ඉලක්ක සපුරාගත හැකි වේ. බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය වැනි විෂය ධාරාවලින් ඉගෙනුම ලබන දරුවනට ද ඒ සම්බන්ධ දැනුම් සම්භාරයක් ගොඩනැඟෙයි. පොදුවේ ගත් කල සියලු දරුවනට යහපත් ඉගෙනීමකට මඟ පෑදෙයි.

සෞඛ්‍යය – අධික ශීත දේශගුණයන්ට අවතීර්ණ විය හැකි නිසා ස්නායු රෝග මතු විය හැකිය. මළබද්ධය, මුත්‍රා ආසාදනවලට ද ඉඩ ඇත.

අපල අවම වීමට කාරුණිකත්වය පෙරදැරිව කුඩා දරුවනට සහ දුර්වල අසරණ අයට පිහිට වන්න.

සුබ අංක – 2, 3, සුබ වර්ණය – කොළ, සුබ දවස් – සිකුරාදා, බදාදා

කටක – ආර්ථිකය ශක්තිමත්

ගෘහ ජීවිතය – ලග්නාධිපති 3 වැන්නේ ගෝචර වෙමින් ආරම්භ වන මාසය ඔබට සහජ හැකියාවන්වලට අනුව කිසියම් කර්මාන්තයක යෙදී මුදලක් සම්පාදනය කර ගත හැකි කාලයකි. සහෝදර උපකාර ලැබෙනු ඇත. පුහුණු පාඨමාලාවකට යොමු වීමේ අවස්ථා උදාවේ. විදෙස් රැකියා බලාපොරොත්තුව සිටියේ නම් ඒවාටද ඉඩකඩ සැලසේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇත.

රැකියාව – රැකියා ස්ථානය වු 10 වැන්නේ ගුරු මිත්‍රශීලීව සිටීමත් එම ගුරුට සෙනසුරුගේ දෘෂ්ටිය වැටීමත් හේතුවෙන් දැනට කරගෙන යන වෘත්තිය සේවාවන් තුළින් ලාභ ප්‍රයෝජන සහ නිසියාකාර වැටුප් හිමි වනු ඇත. ස්වේච්ඡාවෙන් කරගෙන යන්නා වූ රැකියා ස්ථිරත්වයට පත්වීමේ ප්‍රවණතා පවතී.

අධ්‍යාපනය – උසස් අධ්‍යාපනය පෙන්වන 9 වැන්න තුළ රාහු ගෝචරව සිටීම නිසා බාධා පැමිණෙයි. අමතක වීම්, අතපසු වීම් දක්නට ලැබෙන බැවින් බෝධින් වහන්සේට වැටකේ මල් පූජා කර විෂ්ණු දෙවියන් ප්‍රධාන සියලු දෙවියනට පින් දී එම අපලය දුරු කර ගන්න.

සෞඛ්‍යය – උණ රෝග කලවා දණහිස් ආදියේ වේදනා මුත්‍ර ආසාධන හට ගැනීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම වීමට සෑම දිනකම නිවසේ බුදුන් වහන්සේට මල් පහන් පූජා කර පත්තිනි දේවියට පින් දෙන ගාථාව කියා පින් දෙන්න. කුඩා ළදරුවන් සිටින නිවැසියන්ට උදවු කරන්න.

සුබ අංක – 7,9, සුබ වර්ණ – සුදු, සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – දුර ගමන් සහ විදෙස් ගමන්

ගෘහ ජීවිතය – ලග්නාධිපති 6 වැන්නේත් යෝග කාරක කුජ 5 වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ වන මාසය තුළ මෙතෙක් ඔබට සතුරු කරදර තිබුණේ නම් ඒවා අවම වෙයි. සාමදානයට ගරු කරයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් බොහෝ වෙහෙසෙන්නට සිදු වෙයි. දුර ගමන් හා විදෙස් ගමන් යෙදිය හැකිය. ගෘහ ජීවිතය සාමකාමීය. සුළු මතභේද ඇතිවුව ද ඒවා තාවකාලික වේ. කරන කියන රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. ධෛර්යයෙන් යුතුව කටයුතු කළහොත් පවතින ග්‍රහ බල අනුව අරමුණු සපල කර ගත හැකිය. ණය දීම ණය ගැනීම දෙකම නොකළ යුතු කාලයකි.

රැකියාව – දෙවැන්න වූ ධනස්ථානයේ කේතු සඳු සමඟ පිහිටීම අතමිට මුදල් ගැවසුණද ඉතිරියක් කර ගැනීමට නොහැකි බවක් පෙන්වයි. අමතර රැකියාවක එනම් වෙනත් ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් ආරම්භ කිරීමද පලදායී වේ. එහෙත් එය විශාල මුදල් වැය කර කළ යුත්තක් නොවේ.

අධ්‍යාපනය – 5 වැන්න වූ විද්‍යස්ථානයේ ත්‍රිග්‍රහ යෝගය ගණිත, විද්‍යා අංශවල දක්ෂතා පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපනයට ද බාධා නොමැත. ඉංග්‍රීසි මෙන්ම වෙනත් භාෂා හැකියාවන් උපදී. ඉගෙනීමට යහපත් වාතාවරණයක් පෙන්වයි.

සෞඛ්‍යය – ඔබට මෙතෙක් තිබූ අසනීපවලට යම් සහනදායි වාතාවරණයක් පෙන්වයි. අක්ෂි රෝග, උෂ්ණ රෝග දැවිලි ගති අඩු වී යයි. එහෙත් මුත්‍රා දෝෂ හට ගැනීමට පුළුවන.

අපල අවම වීමට ඉරිදා දිනය නිර්මාංශ වන්න. සූරිය පිරිත මෝර පිරිත උදේට කියන්න. අසන්න. සියලු රත්මල් වර්ග පූජා කරන්න.

සුබ අංක – 2, 4, සුබ වර්ණ – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – පදිංචි ස්ථානයේ දියුණුව

ගෘහ ජීවිතය – ලග්නාධිපති බුධ යෝගකාරක සිකුරු හා යෝගව සිවුවැන්නේ සිටින කාලය තුළ ඔබ පදිංචි ස්ථානයේ දියුණුවට බොහෝ වැඩ කටයුතු කර ගනියි. ගෘහස්ථ වෙනසකට සිදු කරයි. පුණ්‍ය කටයුතු සඳහා උදවු උපකාර කරමින් අසල්වැසියන් සමඟ සුහදතාව රඳවා ගනී. එහෙත් වුවමනාවට වැඩි සබඳකම් ඇති කර ගැනීමෙන් හොඳ නමට කැළලක් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. යුග ජීවිතය සමඟියෙන් ගත කරන්නට නොහැකි ලෙස බාධක ගෙන දිය හැකියි. ඒ නිසා එක් අයෙකුගේ සාමකාමී බව නිහඬ බව වැදගත් වේ.

රැකියාව – රැකියා කාරක සෙනසුරු 6 වැන්නේ සිට රැකියා ස්ථානය වූ 10 වැන්නට දෘෂ්ටි හෙළීම අයහපත් නොවේ. කරන කියන රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වන අතර නිවසේ සිට කරගෙන යන ව්‍යාපාරවලින් සතුටුදායක තත්ත්වයක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය – විද්‍යාස්ථානය වූ 5 වැන්නේ රවි 5 අධිපති 6 වැන්නේද පිහිටීම ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට සුළු බාධක ගෙන දෙයි. උසස් අධ්‍යාපනය ලබන දරු දැරියනට අපහසුතාවක් ඇති නොකරයි. ඉංග්‍රීසි භාෂාව දියුණු කරයි.

සෞඛ්‍යය – වාත වේදනා ගෙන දෙයි. විශේෂයෙන් පාද ආශ්‍රිතව ඇඟිලිවල සහ උණ සෙම් රෝග ද හිසරදයද මතු විය හැකි බැවින් සෞඛ්‍යය තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට උනන්දු වන්න.

අපල අවම කර ගැනීම සඳහා සංඝයා වහන්සේට දානයක් දී පැන් වඩා මියගිය අයට පින් දෙන්න.

සුබ අංක – 2, 7, සුබ වර්ණ – කොළ, සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා – පොදු කටයුතුවලට අවධානය

ගෘහ ජීවිතය – ලග්නාධිපති සිකුරු 3 වැන්නේද යෝග කාරක සෙනසුරු 5 වැන්නේද ගෝචර වෙමින් ආරම්භ වන මාසය තුළ ඔබගේ හැකියාවන් තුළින් දියුණු මාවතක් සකස් කර ගන්නා බවක් දක්නට ඇත. සාමාජයීය ඇසුර පොදු කටයුතුවලට ඇති සහභාගිත්වය වැඩි වෙයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබවාදී බවක් ඇත. ප්‍රධානීන්ගෙන් උදවු උපකාර හිමි වෙයි. විදේශගත වීම් බලාපොරොත්තුව සිටි අයට ඒ සඳහා ප්‍රවණතාවක් ඇත. ඇවිදිලි වැඩිවේ. අාවේගශීලී අදහස් ඇතිවිය හැකි බැවින් ඒවා පාලනය කරගෙන සහජ දක්ෂතා තුළින් හරිහම්බ කර ගත හැකි කාලයකි.

රැකියාව – විදෙස් රැකියා නොමැති නම් අප රටේ වුවද ඇවිදිලි වැඩි රැකියාවන්ට මුහුණ දෙයි. කෘෂිකාර්මික කටයුතු ඒවා අලෙවිය දියර වර්ග නිෂ්පාදනය කර යෝගට්, අයිස්ක්‍රීම් වැනි දේ නිෂ්පාදනය ඒවා බෙදා හැරීම් වැනි දේවලින් වැඩිපුර ආදායමක් ලද හැකියි.

අධ්‍යාපනය – ප්‍රාථමික අංශවල සිට උසස් අධ්‍යාපනය ලබන සියලු දරුවනට මතක ශක්තිය දැනුම වර්ධනය කෙරෙන ග්‍රහබල පෙන්වන බැවින් අලසකමකින් තොරව සිය වැඩකටයුතු කරගත හැකිය. රාහු දශා ලැබ ඇති දරුවන්ට නම් අවධානය අඩු විය හැකි බැවින් ඒ සඳහා සෙත් ශාන්ති කරන්න.

සෞඛ්‍යය – සෙම් රෝග, පාදවල වේදනා, තුනටිය ආශ්‍රිත අසනීප ගති මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම වීමට වකුගඩු රෝගීන්ට උදවු උපකාර කරන්න. දසදිසා පිරිත කියන්න.

සුබ අංක – 2, 6, සුබ වර්ණ – ක්‍රීම්, ලා නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික – ව්‍යාපාර දියුණු වේ

ගෘහ ජීවිතය – ලග්නාධිපති දෙවැන්නේ බුධ හා සිකුරු සමග යෝගව සිටී. වචනයේ ප්‍රබලත්වයක් ඇති අන්‍යයන්ගෙන් වැඩ ගැනීමට දක්ෂතාවක් පෙන්නුම් කරන මේ කාලය ඔබගේ ව්‍යාපාර දියුණු තත්ත්වයකට පත්කර ගැනීමට හැකියාව ඇත. ගෙදර දොර කටයුතු පදිංචි ස්ථානයේ දියුණුව පිණිසද කෘෂිකාර්මික අංශ කෙරෙහිද නැඹුරුවක් ඇති වෙයි. වැඩිහිටි අයට උපස්ථාන කිරීම් ආදිය යෙදෙයි. ලැබීම් සහිත කාලයක් බැවින් උත්සාහයෙන් යමක් උපයා සපයා ගැනීමට උනන්දු විය යුතු කාලයකි.

රැකියාව – රැකියා කටයුතු සම්බන්ධයෙන් බලන විට 10 වැන්න වූ රැකියා ස්ථානයේ අධිපති රවි 3 වැන්නේ එනම් සහජස්ථානයේ පිහිටා ඇති හෙයින් ඔබගේ වික්‍රමය තුළින් ජය ගත හැකිය. ඔබ යම් ස්ථානයක සේවය කරන්නේ නම් ඒ දෙය කැපවීමෙන් වුවමනාවෙන් කරන්න. ප්‍රධානීන්ගේ අවධානය යොමු වෙයි. රැකියාවක් නොමැතිව සිටින්නේ නම් තම පදිංචි ස්ථානයේම ආරම්භ කළ හැකි දෙයකට උනන්දු වන්න. මිල මුදල් උපයා ගැනීමට හැකි කාලයකි.

අධ්‍යාපනය – 5 වැන්න වූ විද්‍යස්ථානයේ රාහු ගෝචරව සිටින බැවින් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට අමතක වීම් අතපසු වීම් යෙදෙන්නට පුළුවන. වැටකේ මල් බෝධීන් වහන්සේ වෙත පුදා විෂ්ණු දෙවියන්ට පින් දී එම අපල දුරු කර ගන්න. උසස් පෙළ දරුවනට අයහපත් නොවේ.

සෞඛ්‍යය – සෙම් පිත් කෝප, දත්වල සහ ගෙල ආශ්‍රිත වේදනා ඇති විය හැකියි.

අපල අවම කර ගැනීමට වචනය පාලනය කර ගැනීමත් බෝධින් වහන්සේට සත්කාර කිරීමත් තුළින් හැකි වනු ඇත.

සුබ අංක – 2, 7, සුබ වර්ණ – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

ධනු – සුබපල ගෙන දෙන කාලයක්

ගෘහ ජීවිතය – ලග්නාධිපති 5 වැන්නේ පිහිටීම ඔබගේ බලාපොරොත්තු වන කරුණු කාරණා තරමක් ප්‍රමාද වී හෝ ඉටුවන බවට සුබ ලකුණකි. නිවසෙහි රැඳී සිටින්නට නොහැකි තරම් ගමන්බිමන් යෙදෙයි. සමහර විට පදිංචි ස්ථානයෙන් පිට වාසයකට යෑමට පුළුවන. ධෛර්ය සම්පන්නව සියලු කටයුතු කර ගැනීමටත් අභියෝගවලට මුහුණ දීමටත් හැකි ග්‍රහබල ශක්තීන් පවතී. වැඩිහිටියන්ගේ අදහස් පිළිගැනීමට ද බොහෝ විට සිදුවේ. පුණ්‍ය කටයුතුවලට සහභාගීත්වය ඇති කරයි. සුබ කාලයකි.

රැකියාව – ඔබ දැනට කරගෙන යන්නා වූ රැකියා කර්මාන්තවලින් ඔබට අයහපත් නොවනු ඇත. අැවිදිලි අධික වනු ඇත. ප්‍රධානීන්ගේ අණසකට යටත්ව සිටීමටද සිදු වුවත් වාසිදායක කාලයකි. පරීක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා නවකයින්ට හිමිවේ. ජලය ආශ්‍රිත රැකියා පෙන්නුම් කරන බැවින් කෘෂිකර්මාන්තය කෙරෙහි උනන්දුව ඇතිවේ.

අධ්‍යාපනය – ප්‍රාථමික අංශවල පමණක් නොව සියලුම අංශවල ඉගෙනුම ලබන දුවා දරුවනට ගුරු 5 වැන්නේ පිහිටීමෙන් දැනුම ශක්තිය වර්ධනය වේ. ජයග්‍රහණ ලැබිය හැකි කාලයකි.

සෞඛ්‍යය – සෙම් රෝග සහ මුහුණ අවට ඉන්ද්‍රියන්ගේ අසනීප ගති, හෘද රෝග ඇති විය හැකිය. රාහු දශා ගත කරන අයට හදිසි අනතුරු ආදිය සුළු වශයෙන් බල පවත්වයි.

අපල අවම කර ගැනීමට බෝධීන් වහන්සේට සත්කාර කරන්න.

සුබ අංක – 3,5, සුබ වර්ණ – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා

මකර – පින් දහම්වලට වැඩි කාලයක්

ගෘහ ජීවිතය – දැඩි උත්සාහයකින් යුතුව තම අරමුණු සපල කර ගැනීම උදෙසා වෙහෙස වන කාලයකි. සිතුවිලි අයහපත් නොවේ. පින් දහම් කටයුතුවලට නැඹුරු වේ. කුටුම්භ සංරක්ෂණය මැනවින් ඉටු කරයි. පවුලේ සාමාජිකයින්ට උපදෙස් අවවාද දෙමින් ඔවුන්ට යහපත කියා දෙයි. පදිංචි ස්ථානයේ වෙනසකට සිත යොමුවිය හැකියි. ඒ පිළිබඳ ගැටලුවක් පවතී. මිල මුදල් රඳවා ගැනීම තරමක් අපහසුවේ. ගුරු 4 වැන්නේ සිටීම ඔබට කුමන හෝ අන්දමේ සුබපල උදාකර දෙන්නකි.

රැකියාව – 10 වැන්නාධිපති 12 වැන්නේ බැවින් විදෙස් රැකියා සඳහා නැඹුරුවක් ද ඇත. ඒ හැරුණු විට දෙවැන්නේ සිටින සෙනසුරුගේ දෘෂ්ටිය 10 වැන්නට යොමුවීමෙන් දැනට කරගෙන යන්නා වූ වෘත්තීන්වලින් සුබපල ගෙන දෙනු ලබයි. පොදු ජනතාවගේ අවශ්‍යතාවන් සාධාරණ අයුරින් විසඳා ඒ අයට පිහිටවන ආයතනවල වැඩ කරන සියලු දෙනාටම සිතෙහි සතුටක් මෙන්ම අතමිට සරුසාර වනු ඇත.

අධ්‍යාපනය – විදෙස් අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කර තිබූ අයට යම් සුබ පලයක් ඉටුවිය හැකි අතර පරිගණක ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි. අන්‍ය දරුවන්ට ද සාමාන්‍ය මට්ටමෙන් අධ්‍යාපනය කරගෙන යා හැකි වුව ද අපල සඳහා සෙත් ශාන්ති කළ යුතු අවස්ථා මතු කරයි.

සෞඛ්‍යය – අක්ෂි රෝග, සෙම් රෝග ගෙන දිය හැකියි.

අපල අවම කර ගැනීමට සෙනසුරාදා දවස නිර්මාංශව කුසගින්නේ සිටින අයට සතුන්ට, පක්ෂීන්ට ආහාර ජලය ලබා දෙන්න.

සුබ අංක – 6, 8, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – ඇවිදිලි වැඩි කාලයක්

ගෘහ ජීවිතය – ලග්නාධිපති සෙනසුරු ලග්නයේමත් යෝගකාරක සිකුරු 11 වැන්න වූ අයස්ථානයේත් ගත කරන බැවින් ඔබ වැටෙන තරමින් නැවත නැගිටීමට චිත්ත ශක්තියක් ඇති අයෙක් බවට පත්වෙයි. ඒරාෂ්ටකයක් පවතින බැවින් වියදම් වැඩි ඇවිදිලි වැඩි අවිවේකී බව රජ කරන කාලයක වුවත් උත්සාහය අගය කළ යුතු වෙයි. මේ කාලය රාහු දෙවැන්නට පැමිණ තිබෙන බැවින් වචනය ද සංවර කරගත යුතු බැව් සිහියේ තබා ගැනීම වැදගත්ය. ලැබීම් සහිත බැවින් මොන යම් හෝ යහපත් කරුණු මඟින් යමක් උපයා ගැනීමට උනන්දු වන්න.

රැකියාව – රැකී රක්ෂා කටයුතු අතපසු නොකර කලට වේලාවට එය රැක ගැනීමෙන් ඔබට පසුතැවිලී නොවී සතුටින් ජීවිකාව කරගෙන යා හැකිය. සමහරවිට ඔබගේ අලසකම නිසා ප්‍රමාද වීම නිසා ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ ලැබිය හැකි කාලයකි. සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.

අධ්‍යාපනය – අධ්‍යාපනික කටයුතු හොඳින් කරගෙන යා හැකි ග්‍රහබල සියල්ලන්ටම පවතී. එහෙත් ඒරාෂ්ටකය නිසා අලස ගති ඇති විය හැකි බැවින් සෙනසුරුගේ අපල සඳහා කළ යුතු බෝධි පූජා සෙත්ශාන්තිවලට දරුවන් සහභාගි කළ යුතු වේ.

සෞඛ්‍යය – සෙම්, පීනස් ගති, ලේ දෝෂ, හෘද රෝග ආදියට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට ඒරාෂ්ටකය නිසා සෙනසුරු ග්‍රහ අපලවලට කළ යුතු පිළිවෙත් කරන්න. සෙනසුරාදා දින බෝධි පූජා තැබීම, එදින නිර්මාංශ වීම, බලු කපුටු දාන ආදිය දීම සුදුසුය.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – ගෘහ ජීවිතයේ සතුට

ගෘහ ජීවිතය – ලග්නාධිපති දෙවැන්නේ බැවින් ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකි පිනට සිත යොමු කෙරෙන කාලයක් වේ. කුජ 10 වැන්නේ ධෛර්යයෙන් යුතුව තම වැඩ කටයුතු කරගෙන යාමට උනන්දු වන කාලයක් බව පෙන්නුම් කරයි. රාහු ලග්නයේ බැවින් කලබල වැඩිය. කලබලකාරී ගතිය මඟහැර සංයමයකින් වැඩ කටයුතු කිරීම තුළින් ඔබට මේ කාලය තුළ ගැටලු මඟ හරවා ගැනීමට පුළුවන. රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. නිෂ්ඵල ගමන් නිෂ්ඵල වියදම් යෙදිය හැකිය.

රැකියාව – විදෙස් රැකියාවලට ඉඩ ඇති අතර මෙරට වුවද සාර්ථකව මුදල් උපයා ගැනීමේ මාර්ග මුණගැසිය හැකිය. තම සහජ හැකියාවන් සහ ඒ පිළිබඳ දැනුම බුද්ධිය මෙහෙයවා කෘෂිකාර්මික අංශ සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය, මැණික් ව්‍යාපාර ආදියට භාග්‍ය පවතී.

අධ්‍යාපනය – කලා අධ්‍යාපනයට යොමුවූ දරුවනට දැනුම බුද්ධිය වර්ධනය වන ග්‍රහබල පෙන්නුම් කරන අතර ව්‍යාපාර අධ්‍යයනය, ගණිතය වැනි අංශවල දරුවනට ද ජයග්‍රාහී ලෙස තම ඉගෙනීමේ කටයුතුවලින් පල ලැබිය හැකිය.

සෞඛ්‍යය – අක්ෂි රෝග, සෙම් රෝග, ආහාර නොදිරවීමේ රෝග සෑදිය හැකි බැවින් සෞඛය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම වීමට වෙල් මාළුන්ට ආහාර දීම, තිරිසන් සතුන්ට පක්ෂීන්ට ආහාර ජලය දීම, බ්‍රහස්පතින්දා දිනවල බෝධිය අවට පිරිසිදු කිරීම වැදගත්ය.

සුබ අංක – 3,9, සුබ වර්ණය – කහ, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී – ශ්‍රියා ගනේගොඩ

Gossip Lanka Hot News Previous News Archive