මම ඉන්නේ මහත්තයා එක්ක -ඒ ඔක්කොම බොරු - pooja umashankar

පූජා උමාශංකර් රඟන ‘සිහිනයකි ආදරේ’ සිනමාපටය මේ දිනවල තිරගත වේ. පූජාගේ චිත්‍රපටයක් තිරගත වන්නේ වසර හතකට පසුවය. ඒ සමගම පූජා ගැන ඇතැම් පුද්ගලයන් අතර මෙන්ම මාධ්‍ය ක්‍ෂේත්‍රයේද විවිධ ප්‍රචාරයන් පළවෙමින් තිබේ. ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේදී හෝ මංගල දර්ශනයේදී මෙන්ම ප්‍රචාරක කටයුතුවලදීද පූජා පෙනෙන්නට නොසිටීම ඊට හේතුවක් වන්නට ඇත. පූජා බැංගලෝරයේ සිට කතා කළාය. මේ ඇය අප සමග කළ සංවාදයයි.

● පූජා කෝ කියලා මේ දවස්වල ඔබේ රසික රසිකාවියෝ හොයනවා. ඇත්තටම පූජා කොහෙද ඉන්නේ ?

මම ඉන්දියාවේ බැංගලෝර්වල ඉන්නේ. තාත්තායි අම්මයි එක්ක මයිසූර්වල ඉඳලා බැංගලෝර්වලට ආවා.

● ලංකාවෙන් ගියේ ඇයි.?

මම ඉන්දියාවට ගියාට පස්සේ කොවිඩ්වලට ලොක්ඩවුන් නිසා ඉන්දියාවේ හිරවුණා. ඉන්දියාවේ ‘ඩාන්ස් ජෝඩි ඩාන්ස්’ කියන තරගයේ විනිශ්චය මණ්ඩලයට තමයි මම ගියේ. ඒක තිබුණේ චෙන්නායිවල. ලොක්ඩවුන් නිසා ලංකාවට එන්න ගුවන් යානා තිබුණේ නැහැ. ඒ නිසා මම මයිසූර්වලට ආවා. මයිසූර්වල තමයි අම්මයි තාත්තයි ඉන්නේ. ප්‍රශාන්, මම ඉන්නේ බැංගලෝර්වල. මගේ මල්ලි ඉන්නෙත් බැංගලෝර්වල අපේ ගෙවල් කිට්ටුව.

● පූජා ක්‍රිස්තියානි ආගමේ පැවිදි දිවියට ඇතුළත් වෙලා කියලා යන ප්‍රචාරය මොකක්ද ?

අනේ මන්දා. ඒ පැතිර යන කතා ඔක්කොම බොරු. සාමාන්‍යයෙන් අපි අපේ සමාජ මාධ්‍යවලට දාන්නේ අපි ආසා කරන දේවල්නේ. මට මේ දවස්වල වෙලාවක් නැහැ, ගෙදර වැඩ. ගෙදර කාපෙන්ටි්‍ර වැඩ ගොඩක් තිබුණා. අපි ඉන්නේ අපාර්ට්මන්ට් එකක. මේ ගෙවල්වල දහනව දෙනෙක් ඉන්නවා. ඉතිං මේ අපාර්ට්මන්ට් එකේ පොදු වැඩවලදී මම මූලිකත්වය අරන් වැඩ කරනවා. ප්‍රශාන්ගේ නැන්දා කෙනෙක් නැති වුණා. ඒ අවසන් කටයුතුවලට ගියා. මේ වැඩ නිසා මට වෙලාවක් තිබුණේ නැහැ මගේ ෆේස් බුක් එකයි ඉන්ස්ටර්ග්‍රෑම් එකයි අප්ඩේට් කරන්න. හැබැයි ලොක්ඩවුන් එකෙන් පස්සේ මම ගොඩක්ම අප්ඩේට් කරලා තිබුණේ ජේසුස් වහන්සේ ගැනයි බයිබලය ගැනයි. ඒ වගේ මම ආස කරන දේ තමයි මගේ ෆේස් බුක් එකේ දැම්මේ. ඒ නිසා මිනිස්සු හිතාගෙන ඉන්නවා මම ආධ්‍යාත්මික ගමන් මග තෝරාගෙන කියලා. ආධ්‍යාත්මික ගමනට අපි ඔක්කොම බහින්න ඕනෑ තමයි. ඒත් බොහෝ දෙනෙක් හිතන්නේ ආච්චිලා සීයලා තමයි අධ්‍යාත්මික ගමන් මගට බහින්න ඕනෑ කියලා. ඒත් අපි තරුණ වයසේදීම දෙවියන් සමග අධ්‍යාත්මික ගමන යා යුතුයි. ජීවිතය එපා වුණාම විතරක් දෙවියන් හොයාගෙන යන්න නරකයි.

● දැන් ලංකාවේ තිරගත වෙන ‘සිහිනයකි ආදරේ’ ඔබට නරඹන්න ඕනෑ කියලා හිතෙන්නෙ නැද්ද?

මම දන්නවා මේ චිත්‍රපටය ලස්සනයි කියලා. මගේ අවසන් චිත්‍රපටය දැන් තිරගත වෙන “සිහිනයකි ආදරේ” නොවෙයි. මම රඟපපු අන්තිම චිත්‍රපටය ‘සරිගම’. මම සිනමාවෙන් අයින් වුණේ සරිගම කළාට පස්සේ. පොඩි මල්ලිගෙයි චූටි මලලිගෙයි ෆිල්ම් එකක ආරාධිත රඟපෑමක් කළා, ඒ දවස්වල මමයි හේමාලුයි. මම දන්නෙ නැහැ එක ඉවර කළාද කියලා. මගේ කොටස මම ඉවර කළා. චිත්‍රපටය එනවා නම් ඒක තමයි මගේ රඟපෑම් තියෙන අන්තිම චිත්‍රපටය වෙන්නේ. මට හිතුනා ඇති කියලා. දමිළ සිනමාවේ මම අන්තිමට කළේ “නාන් කඩවුල්” සහ “ විඩියුම් මූන්” කියන චිත්‍රපට දෙක. සරිගම කරද්දිම මම කිව්වා මේක මගේ අන්තිම චිත්‍රපටය කියලා. එහෙම ඉවත් වුණාට පස්සේ සිනමා කර්මාන්තයේ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නැහැ. එහෙම සම්බන්ධ වෙලා හිටිය නම් එක් එක්කෙනාගෙන් ඉල්ලීම් එනවා. ඉවරයක් වෙන්නෙ නැහැ. මම එහෙම පැත්තකට වුණ නිසා තමයි පූජා කෝ කියල හැමෝම හොයන්න පටන් ගත්තේ.

● ඔබ සිනමාවට ආ මුල් දවස්වල ප්‍රකාශ කරලා තිබුණා විවාහයෙන් පසුව සිනමාවෙන් ඉවත් වන බවට තාත්තට පොරොන්දු වුණා කියලා?

හරියට හරි.. දැන් කාටවත් ඒක මතක නැහැ. ඔයාට විතරයි මතක තිබුණේ. මට වුවමනා වුණා මගේ ගෙදර අය, යාළුවෝ එක්ක කාලය ගත කරන්න. හැමදාම වැඩ, වැඩ කියලා දුවන්න මට දැන් වුවමනා නැහැ. මට වැඩ කරන්න පුළුවන්. ඒත් තාත්තා අම්මා එක්ක කාලය ගත කරන එක සතුටක්. වයස අවුරුදු හතරේ ඉඳලා එම්. බී. ඒ. උපාධිය කරනකල් මමයි මල්ලියි හැදුනේ හොස්ටල්වල. ඉන්පස්සෙ මම සිනමාවේ. අම්මා, තාත්තා එක්ක කාලය ගෙවන්න කවදාවත් බැරි වුණා. දැන් මට අවස්ථාව තියෙනවා ගෙදර අය එක්ක ගත කරන්න. එතකොට මම තෝරාගත යුත්තේ පවුලද නැත්නම් සිනමාවද? මම පවුල තෝරා ගත්තා. සිනමාවට වඩා මට මගේ පවුලේ අය වටිනවා.

මට ඒ කාලේ ෂූටිං නිසා කිසිම දේකට වෙලාව තිබුණේ නැහැ. පවුලේ විවාහ උත්සව, උපන් දින උත්සව හුඟාක් මග හැරුණා. ෂූටිං නිසා මගේ සාමාන්‍ය ජීවිතේ නැති වුණා. පවුලේ අය එක්ක වගේම දෙවියන් සමගත් ගතකරන්න කාලය නැතිවුණා. ඒත් දැන් මට මගේ පවුලේ අය හමුවෙනවා. මම පහුගිය දවස්වල පෝෂණ විද්‍යා ගැනත් ඔක්කොම ඉගෙන ගත්තා. ඒ අතර මම බයිබල් අධ්‍යයන කටයුතු කරනවා. වෙලාව නැති නිසා මම කලින් ඒවා කරලා තිබුණේ නැහැ.


● කවුරුවත් ඔබට ආරාධනා කරන්නේ නැද්ද නැවත චිත්‍රපටවල රඟපාන්න?

නැහැ. මගේ දුරකථන අංකය හැම කෙනෙක් ළඟම නැහැ. මම කිසිම කෙනෙකුට මගේ ටෙලිෆෝන් නොම්මරේ දුන්නේ නැහැ. අනෙක හොඳටම දන්න අයට විතරයි මම කතා කරන්නෙත්. සෝමරත්න දිසානායක අයියා, රේණුකා අක්කා එක්ක මම කතා කරනවා. සුනිල් ආරියරත්න සර් එක්ක සමහර වෙලාවට කතා කරනවා.

● ඒ කියන්නේ ඔබ යළි කිසිදාක ඉන්දියාවේ හෝ ලංකාවේ සිනමාවට සම්බන්ධ වන්නෙ නැද්ද?

මොනවා හරි වැඩක් කරන්න ඕනෑ කියලා මම හොය හොයා යන්නෙ නැහැ. කවදාක හරි මම කැමැති චිත්‍රපටයක් ලැබුණොත් ඒක කරන්න ඉඩ තියෙනවා. ඒත් මම දැන් තීරණයක් අරගෙන නිසා ඒ ගැන හරියටම හිතන්න බැහැ. ගෙදරක කරන්න කොච්චර වැඩ තියෙනවද?. රඟපාන්න වෙලාවක් නැහැ. ලංකාවෙ පොඩි සිනමා කර්මාන්තයක්නේ තියෙන්නේ. හොඳ චිත්‍රපට ටිකක් මට ලැබුණා. ඒක මට ආශිර්වාදයක්. අන්තිමේ දක්ෂතම නිළියත් වුණා. ඔක්කොම ලස්සන චිත්‍රපට ටිකේ මමම රඟපාන්න ඕනේ නැහැනේ. දැන් ඇති. අලුතින් එන අයට ඉඩ දෙන්නත් එපායැ.

● සිනමාවෙන් ඉවත් වුණ එක ගැන ප්‍රශාන් මොනවද කියන්නේ.?

එයා මට නිදහස දීලා තියෙන්නේ. ඔයාට අවශ්‍ය නම් රඟපාන්න නැත්නම් අයින් වෙන්න කියලා තමයි ප්‍රශාන් කියන්නේ. අපි දෙන්නම බයිබල් ස්ටඩි කරනවා. අපි දෙන්නම පල්ලියට යනවා.

● ලංකාවට යන්නේම නැද්ද ?

මම පහුගිය ජූලි මාසේ ලංකාවට ගියා. බම්බලපිටියේ අපේ ගෙදර තියෙනවා. ඒ ගෙදර තිබුණ මගේ ඇඳුම් පැළදුම් ඔක්කොම නැති බැරි අයට දුන්නා. බොහෝ විට මේ අවුරුද්දේ ජූනි වල ලංකාවට එන්න ඉඩ තියෙනවා. ප්‍රශාන්ගෙත් අම්මා ඉන්නෙ ඔස්ටේ්‍රලියාවල. ප්‍රශාන් සම්බන්ධ වෙලා ඉන්නේ තේ කර්මාන්තයට. ප්‍රශාන්ගේ බිස්නස් වැඩකට ලබන මාසේ අපි දෙන්නම ඩුබායි යනවා.

● පූජාගේ පවුල් ජීවිතය අසාර්ථකයි. ඇය බණ භාවනා කරන්න යොමුවෙලා කියලා ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඒ ඔක්කොම බොරු. දැන් මාත් එක්ක කතා කරද්දි ඔයාටත් තේරෙනවනේ. රසික රසිකාවියෝ මට තමන්ගේ පවුලේ කෙනකුට වගේ හදවතින්ම ආශිර්වාද කළා. ඒකට මගේ රසිකයින්ට ස්තුතියි. දෙවියෝ මා සමග ඉන්නවා කියන එකට සාක්ෂි තමයි මගේ රසිකයෝ. සිනමාවෙන් විතරක් මාව දැකලා රසිකයන් මට මේ තරමට ආදරේ කරනවා කියන්නේ ඒක මට ආශිර්වාදයක්. මම හැමදාම දෙවියන්ට සහ මගේ රසිකයින්ට ආදරෙයි. ළඟදීම මගේ ෆේස්බුක් එක මම අප්ඩේට් කරන්න පටන් ගන්නවා. ඒත් මම කන බොන හැටි අඳින පළඳින හැටි වගේ පුද්ගලික දේවල් ඒකේ දාන්නේ නැහැ.

අජිත් අලහකෝන් – නිව්යෝර්ක්
පූජා සිය සැමියා සහ සහෝදරයාගේ දරුවන් සමග



Gossip Lanka Hot News Previous News Archive